ෆොන්සේකා ජනපතිට කිව යුතු දේ මූණටම කියයි!
රාජපක්ෂවරුන්ගෙන් කෝල් එකක්වත් නැතිව ගුටිකාපු මන්ත්‍රීවරු කෝපයෙන්!
ලියුම අරන් යද්දිත් රනිල් ඇතුළේ!
මාසයක් පුරා තරුණ අරගලකරුවන් ‘ගෝටා ගෝ හෝම්’ කියමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ නොනිදන විරෝධතා ව්‍යාපාරය මේ වනවිට ජයග්‍රාහී සන්ධිස්ථානයන් රැසක්ම පසුකොට තිබේ. පසුගිය අඟහරුවාදා එහි තවත් ජයග්‍රාහී සන්ධිස්ථානයක් පසුකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළේය. ඒ වන විටත් ආණ්ඩුවට සහාය පළකරමින් සිට පසුව ස්වාධීන වූ මෛත්‍රිපාල, විමල් ඇතුළු කණ්ඩායම මහින්දට බලකරමින් කියා තිබුණේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර්වාර ආණ්ඩුවක් පත්කොට මාස කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසටත්ය. ඒ සඳහා ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා තිබිණි. ඔවුන්ගේ නොනිල එකඟතාව වී තිබුණේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන ඩලස් අලහප්පෙරුම මහතා අගමැති ධුරයට පත්කොට නව අන්තර්වාර පාලනයක් පිහිටුවාලිය යුතු බවකි.
සඳුදා අරලිය ගහ මැදුරේ පාක්ෂිකයන් රටම කළඹයි! රෑ රටම ගිනිගනී!
කෙසේ වෙතත් මේ සියලු අන්තර්වාර පාලන කතා පසුගිය සඳුදා රාත්‍රිය වන විට අවලංගු කාසියක් බවට පත්වූයේ එදින පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණී පොහොට්ටු පාක්ෂිකයන් පොලිසිය බලා සිටියදීම අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනා ගෝ ගමටත්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබූ ගෝඨා ගෝ ගමටත් පහරදී විනාශ කිරීමත් සමගය. මෙම ප්‍රහාරයෙන් පසු තරුණ අරගලය අවසන් වනු ඇති බව ප්‍රහාරයට පෙර පොහොට්ටුවේ ප්‍රධානීන් සිතා සිටියත් සිදුවූයේ ඊට හාත්පසින් වෙනස් වූ ක්‍රියාදාමයකි. සාමකාමී අරගලයකට එල්ල වූ ප්‍රහාරයත් සමග කුපිත වූ විවිධ කණ්ඩායම් සඳුදා රාත්‍රිය පුරාම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළවලට පහර දෙමින් ඒවා ගිනිබත් කිරීමට පියවර ගත්හ. සෑම ප්‍රධාන නගරයකම පාහේ තරුණ පිරිස් එක්රැස් වෙමින් ප්‍රහාරයට පොහොට්ටු පාක්ෂිකයන් රැගෙන පැමිණි බස් සහ වාහන ඉලක්ක කර ඒවාට පහර දීමටත්, ගිනිතැබීමටත් පියවර ගත්හ. තවත් කණ්ඩායම් කොළඹ වටා තිබූ එවැනි බස් රථවලට පහරදී ගිනිබත් කිරීමට කටයුතු කළහ. ඇතැමුන් ඒවා බේරේ වැවට තල්ලු කිරීමටද පියවර ගෙන තිබිණි.
මහින්ද පාන්දර 2ට දැඩි රැකවල් මැද අරලිය ගහමැදුරෙන් පිටවෙයි!
මේ සියල්ල සිදුවෙද්දී අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් බොහෝ පිරිසක් අරලියගහ මන්දිරය තුළ රැඳී සිටි අතර සවස් වරුව වන විට ජනතාව පැමිණ අරලියගහ මන්දිරයට වටකිරීමත් සමග මහින්දටද අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමේ අසීරුතාවක් මතුව තිබිණි. ඒ අනුව අමතර යුද හමුදා භට කණ්ඩායම් පැමිණ මහින්ද ඇතුළු මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයෙන් මුදාගන්නා විට පසුදින අලුයම දෙකත් පසුව තිබිණි. එසේ මුදාගත් මහින්දව දැඩි ආරක්ෂාවක් යටතේ විශේෂ ස්ථානයක රඳවා තිබූ අතර, අඟහරුවාදා පෙරවරුවේම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි ආරක්ෂිත ස්ථානයකට කැඳවා ගෙන යෑමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ජනපතිගෙන් සජිත්ට කෝල් එකක්!
කෙසේ වෙතත් එසේ ආරම්භ වූ ගිනි කෙළියෙන් පසු දේශපාලන අර්බුදය ආරම්භ වූයේ අඟහරුවාදා දින සිටය. ඒ, මතුව ඇති අර්බුදය හමුවේ තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳුදා සවස් වරුවේ මහින්ද විසින් නිවේදනය කිරීමත් සමගය. කෙසේ වෙතත් අඟහරුවාදා දිනය සම්පූර්ණයෙන්ම ගිනිතැබීම් හේතුවෙන් උණුසුම් වී තිබූ රට සංසිඳවාලීම සඳහා වෙන් කෙරුණු අතර, බදාදා දිනයේ සිට නව අගමැතිවරයා තේරීමේ මෙහෙයුම් විවිධ පාර්ශ්වයන්ගෙන් දියත් වන්නට විය. මේ අනුව බදාදා පෙරවරුවේ ජනාධිපතිවරයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධුරය භාරගන්නා ලෙස දැනුම් දීමට පියවර ගත්තේය. නමුත් ඊට වහාම ප්‍රතිචාර දක්වමින් සජිත් කියා සිටියේ තමන්ට තනි තීන්දුවක් ගත නොහැකි බවත්, එදින පෙරවරුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත බවත්, එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට පිළිතුරු ලබාදිය හැකි බවත්ය.
සජිත් කණ්ඩායම කැදවයි! හරීන් එක්ක උණුසුම් කතාබහක්!
ඒ අනුව බදාදා පෙරවරුවේ ආරම්භ වූ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත්, ජනාධිපතිවරයාගේ යෝජනාව කණ්ඩායම හමුවේ තැබීමට කටයුතු කළේය. එහිදී එම යෝජනාව සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර ඉදිරිපත් වීම විශේෂ සිදුවීමක් විය. පෙළක් මන්ත්‍රීවරු ඍජුවම කියා සිටියේ මේ අවස්ථාවේදී කිසිසේත්ම ආණ්ඩුව භාරගත යුතු නැතැයි කියාය. තවත් පිරිසක් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආණ්ඩුව භාරගත යුතු යැයි කියාය. තවත් පිරිසක් කොන්දේසි සහිතව ආණ්ඩුව භාරගත යුතු බවත්, මුළු රටම ඉල්ලා සිටින ආකාරයට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම එහි පළමු කොන්දේසිය විය යුතු බවත් සජිත්ට පෙන්වා දුන්හ. මෙහිදී හරීන් දැඩිව කියා සිටියේ මේ අවස්ථාවේදී ආණ්ඩුව භාරගැනීමට සජබය කටයුතු කළ යුතු යැයි කියාය. හරීන් කෙතරම් දැඩිව මෙම අදහස් ඉදිරිපත් කළාද කියනවා නම් එක් අවස්ථාවකදී හරීන් සහ සජිත් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. ඒ, ‘අපි ආණ්ඩුව භාරගන්න ඕනෙ තමයි. හැබැයි ඒක නිකන්ම භාරගන්න බෑ. මොකද එළියේ මාස ගාණක් තිස්සේ රටේ තරුණයො සටන් කරනවා ගෝඨා ගෝ හෝම් කියලා. එහෙම කියද්දී අපිට නිකන්ම ගිහිල්ලා ගෝඨාගෙන් අගමැතිකම අරගෙන ආණ්ඩු කරන්න බෑ. එහෙම වුණොත් රටේ ජනතාව රාජපක්ෂලට කරපු දේ අපටත් කරයි. ඒ නිසා අපි ආණ්ඩුව භාරගන්න නම් අනිවාර්යයෙන්ම ජනාධිපති අයින් වෙන්න ඕනෙ…’ යනුවෙන් සජිත් පැවැසීමත් සමගය. එවිට හරීන් කියා සිටියේ එසේ නම් තමන් ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් මින් ඉදිරියට කටයුතු කරනවා යැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් සජිත්ද කියා සිටියේ, ‘ඔයා ඕනෙ තීන්දුවක් ගන්න. හැබැයි ස්වාධීන වෙලා ආයෙත් පක්ෂයට එන්න බෑ. අනෙක මේ විදියට මට ප්‍රෙෂර් කරන්නත් ලෑස්ති වෙන්න එපා. එහෙම නම් ඕගොල්ලො වෙන නායකයෙක් තෝරගන්න….’ යැයි කියාය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ කොන්දේසි සහිතව ආණ්ඩුව භාරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් නම් කිරීමටත්ය. ඊට පත් කෙරුණේ කබීර්, රංජිත්, හර්ෂ සහ ඉරාන්ය. කොන්දේසිය වූයේ වහාම ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු එකඟතාවකින් අගමැතිවරයා ලෙස සජිත් පත්කොට ආණ්ඩුව භාරගැනීමටත්ය.
රාජපක්ෂලා කලබල වෙයි! රනිල්ව ගේන්න ප්ලෑන් කරයි!
මේ ආකාරයට ජනාධිපතිවරයා විසින් බදාදා පෙරවරුවේ අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත්ට ආරාධනා කොට ඇති බව වාර්තා වීමත් සමග එතෙක් කරළියේ රාජදැකගන්නට නොලැබුණු රාජපක්ෂවරු දැඩි කලබලයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. යම් හෙයකින් සජිත් අගමැති ධුරය ලබාගතහොත් රාජපක්ෂවරුන්ගේ සහ පොහොට්ටුවේ දේශපාලනය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුවන බව වටහාගත් මහින්ද, බැසිල්, නාමල් යන තිදෙනාම වහාම තිරය පිටුපස මෙහෙයුමක් දියත් කරමින් තමන් දන්නා කියන පුද්ගලයකු අගමැති ධුරය සඳහා පත්කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කළේය. ඔවුන්ගේ තෝරාගැනීම වූයේ වෙන කවුරුවත් නොව, කවදත් රාජපක්ෂවරුන් සමග සමීපව දේශපාලන ගනුදෙනු සිදුකළ එජාප නායක රනිල් වික්‍රමසිංහය. ඒ අනුව පොහොට්ටු පක්ෂයේ සහාය රනිල්ට ලබාදී රනිල් අගමැති කරන මෙහෙයුම බදාදා දින සිට මහින්දත්, බැසිලුත්, නාමලුත් ආරම්භ කළහ. ඒ බව වහාම ඔවුන් ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත්ටද දැනුම්දී සිටීමට පියවර ගත්තේය. ගාමිණීද එය ජනාධිපතිවරයාට වාර්තා කරමින් සජිත් පමණක් නොව, විකල්පයක් වශයෙන් රනිල්ද සිටින බව ජනාධිපතිවරයාට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
සජබෙ ජනපතිට අයින් වෙන්න කියයි! ජනපති බෑ කියයි!
මේ ආකාරයට මහින්ද, බැසිල් සහ නාමල්ලා රනිල් අගමැති ධුරයට ගෙන ඒමේ සටන ආරම්භ කරන විට සජබ නියෝජිතයන් ජනපති මැදුරට ගොස් තම කොන්දේසි ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. එහිදී ජනාධිපතිවරයා කෙළින්ම කියා සිටියේ තමා කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත්, එම කොන්දේසිය නොමැතිව බලතල පැවරීම යනාදී කරුණුවලට තමන්ට එකඟ විය හැකි බවත්ය. කෙසේ වෙතත් ඒ වන විටත් රනිල්ගේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ලැබී තිබීම නිසාදෝ එම සාකච්ඡා පැවැතියේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙන්ය. ඒ බව වටහාගත් සජබ නියෝජිතයන් සාකච්ඡාව අවසානයේදී එහි පැවැති තත්ත්වය සම්බන්ධයෙන් සජිත්ව දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඊට ප්‍රතිචාර දක්වමින් සජිත්ද කියා සිටියේ එසේ නම් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා අනවශ්‍ය බවත්, ජන වරමකින් ආණ්ඩු බලය පිහිටුවන තෙක් විපක්ෂයේ සිටිය යුතු බවත්ය.
රාජපක්ෂවරුන්ගෙන් කෝල් එකක්වත් නෑ! ගුටිකාපු මන්ත්‍රීවරු කෝපයෙන්!
මේ වන විට රට පුරාම මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහරදීමේ ප්‍රවණතාවක් මතුව තිබුණු බැවින් පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් සිටියේ විවිධ ආරක්ෂිත ස්ථානවල සැඟවීය. තමන්ගේ දේපළ ගිනිබත් වී තිබුණද, අනාරක්ෂිතව විවිධ ස්ථානවල රැඳී සිටියද පොහොට්ටුවේ ප්‍රධානීන් වූ ජනාධිපතිවරයාත්, මහින්දත්, බැසිලුත් කිසිදු අවස්ථාවක දුරකතන ඇමතුමක් හෝ ලබාදීම නොතිබීම සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරු දැඩි කෝපයට පත්ව සිටින ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් අඟහරුවාදා සවස් වරුව වන විට හිටි හැටියේම මේ මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් සහ නාමල්ගෙන් දුරකතන ඇමතුම් ලැබීම ආරම්භ වී තිබිණි. එහිදී බැසිලුත් නාමලුත් එම මන්ත්‍රීවරුන්ට දැනුම්දී සිටියේ පාර්ලිමේන්තුව විසිරුවා හරින තෙක් උණුසුම්කාරී තත්ත්වය සමතයකට පත්කර ගැනීම සඳහා උපක්‍රමශීලීව විශ්වාසවන්ත අයකු අගමැති ධුරයට පත්කරගත යුතු බවත්, ඊට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත්ය. එම නිසා රනිල්ට අගමැති ධුරය ලබාදීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදිය යුතු බව එහිදී බැසිලුත්, නාමලුත් එම මන්ත්‍රීවරුන්ට දැනුම්දී සිටියහ.
පොහොට්ටුවට හදිසියේ ආ ඇමතුම!
කෙසේ වෙතත් මේ ආකාරයට හිටි හැටියේම රනිල්ට සහාය ලබාදෙන ලෙසට පොහොට්ටුවේ ප්‍රධානීන් දුරකතනය ඔස්සේ දැනුම්දීමත් සමග ඇතැම් මන්ත්‍රීවරුන් උඩ ගොස් බිම වැටෙන ආකාරයක් දැකගත හැකි විය. මක්නිසාද යත් එදා බැඳුම්කර හොරා යනුවෙන් කියමින් රනිල්ට දවසේ පැය 24ම පහර දුන් තමන්ටම යළිත් රනිල්ව අගමැති බවට පත්කිරීම සඳහා අත එසවීමට සිදුවීම දෛවයේ සරදමක් බවට පත්ව තිබීම නිසාය. ඒ අනුව බොහෝ මන්ත්‍රීවරුන් එකිනෙකාට ඇමතුම් ලබාදෙමින් කියා සිටියේ රනිල්ට අත ඔසවා නැවත වතාවක් ගමේ පාක්ෂිකයන්ගෙන් ගුටි කෑමට තමන්ට සිදුවනු ඇතැයි කියාය. නමුත් පෙළක් මන්ත්‍රීවරු මෙම යෝජනාවට පක්ෂව සිය හිතවතුන් සමග අදහස් පළ කළ ආකාරයක්ද මෙහිදී දැකගත හැකි විය.
රනිල් දෙපාරක් ජනපතිට කෝල් කරලා!
මේ අතරවාරයේ අඟහරුවාදා සවස් වරුව වන විට ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකට පත්ව සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය දීර්ඝ වශයෙන් පිරිහෙමින් පැවැතීම නිසාය. ඒ වන විට රනිල්ද ජනාධිපතිවරයාට අවස්ථා දෙකකදීම දුරකතන ඇමතුම් ලබාදෙමින් මෙම තත්ත්වය විමසීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී එක් ඇමතුමක් ලබාදෙමින් රනිල් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක ඇමැතිවරයකු නොමැති වීම හේතුකොට ගෙන තමන් දැඩි අර්බුදයකට පත්ව සිටිනා බවකි. අගමැතිවරයකු පත්කර නොමැති බැවින් පොලිසිය භාර අමාත්‍යවරයකු පත්කළ නොහැකි බවට නීතිපතිවරයා තමන්ට දැනුම්දී සිටීම නිසා පොලිසිය භාර අමාත්‍යවරයකු පත්කිරීමට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී රනිල්ට දැනුම්දී සිටියේය. නමුත් රනිල් එහිදී උදාහරණද පෙන්වා දෙමින් එවැන්නක් බලනොපාන බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
නීතිපතිත් රනිල්ට කතා කරයි!
‘නෑ මම දන්න විදියට නම් එහෙම දෙයක් නෑ. ජනාධිපතිතුමාට මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න ව්‍යවස්ථාවේ බලය තියෙනවා. නීතිපතිතුමාට කියන්න මට කතා කරන්න කියලා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්…’ යනුවෙන් කී විට ජනාධිපතිවරයාද නීතිපතිවරයාට කතාකොට දැනුම්දී සිටියේ රනිල් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යැයි කියාය. ඒ අනුව නීතිපතිවරයා රනිල්ට ඇමතුමක් ලබාදී තිබූ අතර, රනිල් එහිදී එහි නීතිමය තත්ත්වය පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජේ.ආර්.ගේ පාලන සමයේ සිදුවූ ඇතැම් සිදුවීම් උදාහරණ ලෙස ගෙනහැර දැක්වීමටද රනිල් කටයුතු කොට තිබිණි. ඒ අනුව අවසානයේදී නීතිපතිවරයාද රනිල්ට කියා සිටියේ තමන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරන්නම් යැයි කියාය.
නාමල්ගෙන් රනිල්ට ඇමතුමක්! රනිල් ජනපති හමුවක්!
ඒ අතරවාරයේ නාමල්ගෙන් රනිල්ට දුරකතන ඇමතුමක් ලැබුණු අතර එම දුරකතන ඇමතුමෙන් නාමල් රනිල්ට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් පොහොට්ටුව ගෙන ඇති තීන්දුව දැනුම්දී සිටීමට පියවර ගත්තේය. ඒ සඳහා සූදානම් වන ලෙසද නාමල් එහිදී රනිල්ට දැනුම් දීමට කටයුතු කළේය. ඒ අනුව රනිල්ගේ පාර්ශ්වයද ඒ සඳහා අවශ්‍ය බහුතරය සොයාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව බදාදා දිනයේදී ජනාධිපතිවරයා හා රනිල් අතර විශේෂ හමුවක්ද පැවැත්විණි. එහිදී අගමැති ධුරය සම්වන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක්ද පැවැත්විණි.
සජබ කොන්දේසි ලිහිල් වෙයි!
ඒ අනුව මෙම තත්ත්වය සජබයටද වාර්තා වීමට වැඩි වෙලාවක් ගියේ නැත. ඒ අනුව විවිධ පාර්ශ්වවලින් සජබයට යම් යම් බලපෑම් එල්ල වීමට පටන් ගත්තේ දැඩි කොන්දේසි අතහැර ජනාධිපතිවරයා සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙසටය. ඒ අනුව නැවතත් සජිත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බදාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී තීන්දු වූයේ වහාම ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට වූ දැඩි කොන්දේසිය ලිහිල් කරමින් කොන්දේසි හතරක් යටතේ අගමැති ධුරය භාරගැනීමට සජිත් සූදානම් බවකි. එම කොන්දේසි හතර මෙසේය.
- ජනතා මතයට ගරු කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිශ්චිත අවම කාලයක් තුළ ධුරයෙන් ඉවත් වීමට එකඟ විය යුතුය.
- කෙටි කාලයක් සඳහා පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව ජනාධිපතිවරයා කිසිදු බලපෑමක් සිදු නොකළ යුතුය.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව ඉතා අවම කාලයක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත්, ඒ සඳහා සියලු පක්ෂවල එකඟතාව ලබාගැනීමටත් කටයුතු කරනු ඇත.
- ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමෙන් අනතුරුව කඩිනමින් ස්ථිර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එම කොන්දේසි හතරය. ඒ අනුව වහාම එම ලිපිය ජනාධිපතිවරයාට යොමු කිරීමටද එහිදී තීන්දු විය.
ජනපතිගෙන් ෆොන්සේකාට ආරාධනාවක්!
මේ අතර බදාදා රාත්‍රියේ ජනාධිපතිවරයා තවත් එක්තරා විශේෂ පුද්ගලයකුට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කළේය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාය. මෙම ආරාධනාව ලැබුණු සැණින් ෆොන්සේකා කළේ ඒ සම්බන්ධයෙන් සජිත්ව දැනුවත් කිරීමය. සජිත් ඊට අනුමැතිය ලබාදීමත් සමග ෆොන්සේකා එදින රාත්‍රියේ ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති මන්දිරයට ගියේය. මෙහිදී දැකගත හැකි වුණු විශේෂම සිදුවීම වූයේ අගමැති ධුරය භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා ෆොන්සේකාගෙන්ද ඉල්ලීමක් කිරීමය. නමුත් එහිදී කෙළින්ම ෆොන්සේකා ජනාධිපතිවරයාට කියා සිටියේ තමන් රාජපක්ෂවරුන් යටතේ කිසිදු තනතුරක් භාරගන්නේ නැතැයි කියාය. මීට අමතරව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද දෙදෙනා අතර දීර්ඝව අදහස් හුවමාරු වූ අතර ෆොන්සේකා එහිදී බරපතළ චෝදනා කිහිපයක්ද ජනාධිපතිවරයාට එල්ල කර තිබිණ.
ශ්‍රීලනිප කණ්ඩායමක් හොරෙන්ම ගිහින් ජනපති හමුවෙයි!
ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප නියෝජිතයන් පස් දෙනකු අතර තවත් විශේෂ රැස්වීමක්ද ජනාධිපති මන්දිරයේ පැවැත්විණි. මෙම රැස්වීමට එක්ව සිටි ශ්‍රීලනිප නියෝජිතයන් පස් දෙනා වූයේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ නලින් ප්‍රනාන්දුය. කෙසේ වෙතත් මෙම පස් දෙනා ජනාධිපතිවරයා මුණගැසෙන බවක් ශ්‍රීලනිප නායකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා නොදැන සිටීමද විශේෂ සිදුවීමක් විය. එහිදී අගමැති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ රනිල්ගේ නමත් මේ වන විට ඊට යෝජනා වී ඇතැයි කියාය. එහිදී දැකගත හැකි වුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ රනිල් එම තනතුරට පත්කරන්නේ නම් තමන් ඊට සහාය දෙන බවට ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාලත්, අමරවීරත් ප්‍රකාශ කර සිටීමය.
මෛත්‍රීපාලට යකා නගී! නිමල් සිරිපාල හොදට අහගනී!
ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් තමන්ගේ සහ පක්ෂයේ අනුදැනුමකින් තොරව නිමල් සිරිපාල, දුමින්ද දිසානායක සහ අමරවීර ජනාධිපතිවරයා මුණගැසී ඇති බවත්, එහිදී රනිල්ට සහාය පළකිරීමට තීන්දු කර ඇති බවත් මෛත්‍රිපාලටද දැනගන්නට ලැබිණි. ඒ අනුව එම තොරතුරින් දැඩි කෝපයට පත්වූ මෛත්‍රිපාල වහාම තීන්දු කළේ පක්ෂයේ විධායක සභාව රැස්කොට මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටය. සාමාන්‍යයෙන් පක්ෂයේ විධායක සභාව සමන්විත වන්නේ ගම් මට්ටමේ සිට රටම ආවරණය වන පරිදි පත්කළ නියෝජිතයන්ගෙනි. ඒ අනුව ගමේ මතය හොඳ හැටි දැනෙන්නේ ඔවුන්ටය. ශ්‍රීලනිපය එදා රනිල්ට පහර දුන් ආකාරයත්, රනිල් නිසා යහපාලන ආණ්ඩුව විනාශ වූ ආකාරයත් හොඳින්ම දන්නේ මේ බිම් මට්ටමේ සිටි සාමාජිකයන් නිසා එය කැඳවා අගමැතිවරයා සම්බන්ධයෙන් තීන්දු කිරීම මෛත්‍රීගේ අරමුණ විය. කෙසේවෙතත් මෛත්‍රී ඇතුලු පක්ෂයේ නියෝජිතයන් රනිල්ගේ නමට විරුද්ධ බව දැනගැනීමත් සමග යළිත් ජනාධිපතිවරයාට කතා කළ නිමල් සිරිපාල රනිල්ගේ නමට තමන්ද විරුද්ධ බව ප්‍රකාශ කර සිටියේය. එහෙත් එසේ කියා තවත් පැයක් යාමට මත්තෙන් ජනාධිපතිවරයාට කතා කළ නිමල් සිරිපාල රනිල්ගේ නමට එකඟ බව දැනුම් දී සිටීමද විශේෂ සිදුවීමක් විය. කෙසේවෙතත් මෛත්‍රීපාල පක්ෂයේ විධායක සභා සාකච්ජාවෙන් පසු නිමල් සිරිපාලට ඉතා දැඩි භාෂාවකින් බැන වැදී ඇති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
හිටපු කැබිනට් මණ්ඩලය රැස්වෙයි! 15ක් ඇවිත්!
මේ අතර ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා දිනයේදී හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මන්දිරයේ කැඳවීමට පියවර ගෙන තිබිණි. පෙරවරු 10.30ට ආරම්භ වූ මෙම රැස්වීමට ජී.එල්. පීරිස්, කාංචන විජේසේකර, දිලුම් අමුණුගම, විමලවීර දිසානායක, චන්න ජයසුමන, කනක හේරත්, ජානක වක්කුඹුර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිබත් කිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළකොට විශේෂ තොරතුරක් හිටපු කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දීමට පියවර ගත්තේය. ඒ, විපක්ෂ නායකවරයා අගමැති ධුරය භාරගැනීමට කොන්දේසි ඉදිරිපත් කරන බැවින්, අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බවය. ඒ සම්බන්ධයෙන් හිටපු කැබිනට් ඇමැතිවරුන්ට අදහස් දක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ සියලු දෙනාම පාහේ කියා සිටියේ රට තුළ මතුව ඇති තත්ත්වය යටතේ එම තනතුර සඳහා රනිල් පත්කරන්නේ නම් ඊට තමන්ගේ එකඟතාව පළ කරනවා යැයි කියාය. ඒ අනුව හිටපු ඇමැතිවරුන්ට රනිල් සමග කතා කිරීමටද අවශ්‍ය විය.
රනිල්වත් හිටපු කැබිනට්ටුවට කැදවයි! 13 සිකුරාදා අසුබයි!
ඒ අනුව ජනාධිපතිවරයා වහාම රනිල්ට ඇමතුමක් ලබාදී ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දී සිටීමය. එම දැනුම්දීමට අනුව රනිල් හරියටම 1.30 වන විට ජනාධිපති මන්දිරයට පැමිණියේය. එසේ පැමිණ හිටපු ඇමැතිවරුන් සමග විනාඩි 40ක පමණ සාකච්ඡාවක් සිදුකළේය. එම සාකච්ඡාවෙන් අනතුරුව රනිල් ජනාධිපතිවරයා සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය. ඒ අනුව රනිල් නියත වශයෙන්ම අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව බ්‍රහස්පතින්දා දහවල් වන විට හිටපු ඇමැතිවරුන්ට තහවුරු විය. ඔවුන්ට දැනගන්නට ලැබුණේ සිකුරාදා දිනයේදී රනිල් දිවුරුම් දීමට නියමිතව ඇතැයි කියාය. එහෙත් රැස්වීමේ සිටි එක් හිටපු ඇමැතිවරයෙක් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ සිකුරාදා දිනය 13 වැනිදා වන බවත්, 13 වැනි සිකුරාදා අසුබ දිනයක් ලෙස බොහෝ දෙනා සලකන බවත්ය. ඒ අනුව ඒ මොහොතේම තීන්දු වූයේ බ්‍රහස්පතින්දා සවස 6.30ට රනිල් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමටය.
සජබය යළි සාකච්ජාවක! කොන්දේසි තව ලිහිල් කරයි!
මේ අතර මේ කිසිවක් නොදත් සජබ මන්ත්‍රී කණ්ඩායමද නැවත වතාවක් රැස්වී අගමැති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළහ. එහිදී සියලු මන්ත්‍රිවරුන් එක හඬින් යුතුව කියා සිටියේ රට තවදුරටත් අරාජික වෙමින් පවතින නිසා ආණ්ඩුව භාරගැනීමට සජබය කටයුතු කළ යුතු බවකි. මීට අමතරව එය ජනාධිපතිවරයාට දැනුම් දෙමින් සජිත්ගේ අස්සනින් යුතුව ලිපියක් යැවීමටද එහිදී යෝජනා විය. ඒ අනුව එම ලිපියෙහිද පෙර යැවූ ලිපියේ තිබූ කොන්දේසි තවත් ලිහිල් කොට ඉදිරිපත් කිරීමටද පියවර ගැනිණ. එහි තිබූ කොන්දේසි හතර මෙසේය.
- නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත් වීම.
- සති දෙකක කාලයක් තුළ සියලු පක්ෂවල සහයෝගයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.
- අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ගැසට් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතා අවම කාලයක් තුළ සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.
- ජන ජිවිතය යථා තත්ත්වයට පත්කොට නීතියේ ආධිපත්‍යය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එම කොන්දේසි හතරය.
ලියුම අරන් යද්දිත් රනිල් ඇතුළේ!
ඒ අනුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත ගෙන යෑම මන්ත්‍රීවරුන් පිරිසකට භාරදෙනු ලැබිණි. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ මෙම මන්ත්‍රී කණ්ඩායම අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීමට යන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට වී ජනාධිපතිවරයා සමගින් අගමැති ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටීමය. මේ බව නොදත් සජබ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එම ලිපිය භාරදීමට පියවර ගත්තේය. ලිපිය භාරදීමෙන් පසුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දුරකතන ඇමතුමක් දුන්නේය. සජිත් එවූ ලිපිය ලැබුණේදැයි ඔහු විමසා සිටියේය.
ගාමිණී සෙනරත් හර්ෂට කියපු දේ!
“ලියුම ලැබුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා…” ගාමිණී සෙනරත් කීවේය. එහිදී ප්‍රශ්නය කුමක්දැයි කියා හර්ෂ අසන විට ගාමිණී කීවේ, “අපි රනිල්ට වචනයක් දීලා තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක්” යැයි කියාය.
එවිට හර්ෂ ඇසුවේ “අගමැති පත්කරන්නේ කට වචනයටද?” කියාය. “කෝල් කරලා විපක්ෂ නායකතුමාගෙන් මේක භාරගන්න කියලා ඉල්ලීමක් කළානේ” යනුවෙන් පිළිතුරු දෙමින් ගාමිණි සෙනරත් ඇඟ බේරාගැනීමට උත්සාහ කළද හර්ෂ කෝපයෙන් යුතුව කියා සිටියේ “රටේ ප්‍රධාන විපක්ෂයේ සහ විපක්ෂ නායක ආණ්ඩුව භාරගන්නම් කියනවා. ඒ ලියුම අනුව වැඩ කරන්න” යැයි කියාය.
එම ඇමතුම ලබාදී ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතරම ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවා පවසා තිබුණේ කලින් පැමිණියේ නම් අගමැති ධුරය ලබාදීමට තිබුණු බවය.
“මට කෝල් කරලා මෙදාට කලින් එන්න කියලා කිව්වේ නෑනේ. කඩිනමින් භාරදෙන්න තීරණය කළේ කොහොමද? රටේ ප්‍රශ්න නැති කරනවා වෙනුවට රාජපක්ෂලා තවත් ප්‍රශ්න ඇති කරන එක තමයි කරන්නේ” ලියුම අතට ගත් සජිත් තරමක ආවේගයෙන් යුතුව කීය.
“රනිල් වික්‍රමසිංහ අගමැති කළේ වෙන මොකකටවත් නෙමෙයි. රාජපක්ෂලා ආරක්ෂා කරන දේවල් කරන්න. අපිට ජනතාව එක්ක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ‘ජනාධිපති ගෝඨා ගෙදර පල’ කියන එක. මේක ගත්තා, නොගත්තා අපි අරගලය පාවාදෙන්නේ නෑ. අපි අරගලයට අනුගත ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ” සජිත් සමග සිටි මන්ත්‍රීවරු කීවේ එක හඬිනි.
“සමහරු අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා රකින්න. හැබැයි සජිත් අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා අරින්න” නලින් බණ්ඩාර පැවසුවේය.
ආණ්ඩුවේ ආයුෂ තීරණය වෙන්නේ අගහරුවාදා!
කෙසේ වෙතත් මේ ආකාරයට රනිල් අගමැති ධුරයට පත් වුවද ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුවට තීරණාත්මක ඡන්ද 3කට මුහුණ දීමට සිදුව ඇත. ඒ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම, ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්බන්ධයෙනි.
දැනටමත් සජබය ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් වතාවේදී මෙන්ම මෙවරද නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සිය පක්ෂයෙන් නියෝජිතයකු පත්කරන බවය. එය ආණ්ඩුවට ඉතා තීරණාත්මක වන්නේ දැනටමත් සජබය පමණක් නොව විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලු සුළු පක්ෂ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනුම්දී තිබීම නිසාය. ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කර ස්වාධීන වූ ශ්‍රීලනිපය ප්‍රමුඛ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම්ද දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කරන බවකි.
ඒ අනුව ආණ්ඩුවට සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමත්, ජීවන් තොණ්ඩමන් මහතාගේ පක්ෂයේ නියෝජිතයනුත් පමණි. එසේ වුවහොත් ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුව ඉතා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට නියමිත බව පෙනෙන්නට ඇත.