ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සළකන්නැයි පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ඒ, අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
“මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිහිපවතාවක්ම ඉල්ලලා තියෙනවා මේක. මේ අයව පැත්තකට විසිකරලා වැඩ කරන්න බෑ. පක්ෂයක් විදිහට අපි බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ.
අපේ සංවිධායකවරු විශාල කලකිරීමකින් ඉන්නවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විශාල කලකීරීමකින් ඉන්නවා. අපේ අපේක්ෂකයෝ විශාල කලකිරීමකින් ඉන්නවා ඔවුන්ව මේ ආණ්ඩුව සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කරගන්නේ නෑ කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන් පොදුජන පෙරමුණේ නායකයන්ගෙනුත් ඉල්ලන්න කැමැතියි කරුණාකරලා කෙළෙහිගුණ සැලකීමේ කටයුත්ත දැන්වත් ඉෂ්ට කරන්න කියලා.
අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ජා වට ගණනාවක් ඉල්ලුවා. ඒ එකක්වත් ලැබිලා තිබුණෙ නෑ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක සාකච්ජා කළා. නමුත් ඒ සාකච්ජාවල අපි කිසිම හරයක් දකින්නේ නෑ. ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. අපි ඉතාමත්ම අසරණ වෙලා ඉන්නේ මේ ක්‍රියාවලිය තූළ. මම කියන්න කැමැතියි අපිට ශක්තිය දෙන්න නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකරන වැඩපිළිවෙළක් තමයි මේ ආණ්ඩුව ඇතුළෙම සිද්ධ කරමින් ඉන්නෙ කියලා අපිට කියන්න වෙනවා…’” යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.










