ලංකා රියැලිටි ලෙෂර් සමාගම මගින් යාල පලටුපාන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ඇති කරගෙන තිබූ බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන තිබූ තීන්දුව වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම 2020 ජුලි 13 දක්වා තවදුරටත් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (30) නියෝග කළේය.
එදිනට ලිඛිත ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙසටද අධිකරණය දැනුම් දී ඇත.
කෙසේවෙතත් මෙම නඩු විභාගය අද දින කැදවූ අවස්ථාවේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
සාමාන්‍යයෙන් රජයට සම්බන්ධ ආයතන වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥයන් පෙනී සිටිය යුතු අතර පෞද්ගලික නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතුය.
මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥවරයකු පෙනී සිට ඇත්තේ එම අධිකාරියේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය සහිතවද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය නඩු කටයුත්තේදී අදාළ නීතිරීති නිසියාකාරව අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන්ද කිසියම් බරපතළ සාකච්ජාවක් මේ වනවිට මතුව ඇත.
ලංකා රියැලිටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් 99 අවුරුදු බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීන්දු කර තිබුණේ පසුගිය වසරේ අගභාගයේදීය. ඊට හේතු වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියාට අයත් ‘වයිල්ඩ් කෝස්ට් ලොජ් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් ආයතනයක් මගින් යාල ප්‍රදේශයේම ඉදිකිරීමට සැලසුම් කර ඇති හොටල් ව්‍යාපෘතියක් සදහා අනියමින් සහාය දැක්වීමට බව දැනගන්නට ඇත.










