සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක සාකච්ඡා සහ අදහස් හුවමාරු කිරීම මේ දිනවල සිදු කෙරෙන අතර එහි තරුණ කමිටුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැත්වවී ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම පක්ෂය නියෝජනය කරන මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර් ඇතුලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, යොවුන් පෙරමුණ නියෝජනය කළ එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කාර ඇතුලු පිරිසක් ද ඒ ක්ෂේත්‍රවල විද්වතුන් වෘත්තිකයින් සහ තරුණ නියෝජිතයින් ද මීට එක් වූහ. මෙම කමිටුව මගින් පක්ෂයේ තරුණ ප්‍රතිපත්ති සම්පාදනයත් වර්තමානයේ ආණ්ඩුවේ අමාත්‍යංශ ක්‍රියාකාරීත්වයත් විමර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ .
නවීන සහ මානවවාදී තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීමටත්, ඉතිහාසයේ ඇතිවූ තරුණ කැරලිවලින් පාඩම් ඉගෙන ගෙන තරුණ පරම්පරාවේ ශක්තිය රට නැංවීමට යොදා ගැනීම ගැනත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසීමේ වැදගත්කම සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය.
මීට අදාළව තරුණ ක්ෂේත්‍රය පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ කරුණු විමර්ශනය කොට වහාම වාර්තා සකස් කොට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ඉදිරිපත් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සියලු කමිටුවලට උපදෙස් ලබා දුනි.











