මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමා යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමග බලයෙන් උන්මාදයට පත්වූ යහපාලන ආණ්ඩුවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා කතෝලිකයකු බව අමතක කරමින් සිය පිරිවර සමග කඩා වදින්නේ ගම්පහ පැත්තේ පිහිටි ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයකටය. රමණීය පරිසරයක පිහිටි එම භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් සදහා රටේ නමගිය ප්‍රභූවරුන් පවා නිතර ආ ගියේය. ඒ අය අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද සිටියේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම භාවනා මධ්‍යස්ථානයට කඩා වැදී ආගමට පහර ගැසුවේය. භික්ෂූන් වහන්සේ සුභෝපභෝගී ජීවිතයක් ගතකරන බවට පරිභව කළේය. සියල්ල ඔහු කළේ වීඩියෝගත කරමිනි.
රන්ජන්ගේ එම පටිගත කිරීම එතැනින් නිමා වූයේ නැත. අද ඔහුට කල්දේරම් බතේ රස බලන්නට සිදුව ඇත්තේද එබැවිනි. අද ඔහු බන්ධනාගාරයේ සිරකුටියකට වී සිටින්නේය. ඔහු පැලද සිටි බොරු කොණ්ඩය පවා දැන් ඔහුට අහිමිව ඇත්තේය. ඔහු හඩා වැලපෙන්නේ කොණ්ඩය නිසාය. නිදා ගැනීමට සිදුව ඇත්තේ පැදුරක් බිම එලාය. පැදුර වෙනුවට මෙට්ටයක් ඉල්ලා ඇතත් එය අහිමි වී ඇත්තේ මෙට්ටයක් ලබාදීමට තරම් සුවිශේෂී කාරණයක් ඔහු බන්ධනාගාර බලධාරීන්ට ඉදිරිපත් කර නැති බැවිනි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය ශරීරයේ හැඩය ගැන සහ රූපය ගැන විශේෂ සැළකිල්ලක් දැක්වූ නළුවෙකි. දේශපාලනයට පැමිණද ඔහු කළේ නළුකමය. රන්ජන් දේශපාලනයට ගෙන එන්නේ රනිල් වික්‍රමසිංහය. ඒ සබරගමුව පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂකයා කරවමිනි. ඒ රන්ජන් රාමනායක දේශපාලන විඥානයෙන් පිරපුන් චරිතයක් වූ නිසා නොව, කෙසේ හෝ පළාත් සභාව ජයග්‍රහණය කිරීමට ජනප්‍රිය චරිතයක් ඇවැසි වූ බැවිනි. රන්ජන් රාමනායකව සබරගමුව මහා ඇමතිකරවන්නට රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන්නේ රත්නපුරයෙනි. ඉහළ මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු රත්නපුරයේ අංක එකට ජයග්‍රහණය ලැබුවද මහා ඇමතිකම හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයා වූ මහීපාල හේරත්ටය. රන්ජන්ට සිදුවන්නේ විපක්ෂ නායක ධූරයේ රැඳෙන්නටය. සබරගමුවේ විපක්ෂනායක ගම්පහින් පාර්ලිමේන්තුවට එන විට රත්නපුරයේ ඔහුට ඡන්දය දුන් ජනතාව දෙස ඔහු බලා තිබුණේ නැත. ජනතාව සූදානමින් සිටියේ නැවතත් රත්නපුරයෙන් ඡන්දය ඉල්ලන්නට එන විට ඔහුට සලකන්නටය. ගම්පහින් මහාමැතිවරණයට ඔහු ඉකුත් 2015 වසරේදී ඉදිරිපත් වන්නේ ඒ බව දැනගෙනය. ගම්පහ ජනතාවටත් ඔහු කළේ රත්නපුරයේ ජනතාවට කළ දේමය. ආයිත් ඔහුට ගම්පහින් නම් ඡන්දයක් ඉල්ලා ජීවිතයට දිනන්නට බැරිය. දිනීම කෙසේ වෙතත් ඔහුගේ මේ වැඩ නිසාම මැතිවරණයකට ඉල්ලන්නට ඔහුට හැකියාවක් ලැබේදැයි ඇත්තේ සැකයකි. ඒ ඔහු සිය මන්ත්‍රී ධූරයේ වරප්‍රසාද අවභාවිතා කරමින් අධිකරණයේ විභාගවන නඩු කටයුතු සදහා විනිසුරුවරුන්ට බලපෑම් කර ඇති බැවින් ඔහුගේ ප්‍රජා අයිතිය වැඩි කල් නොගොස් අහිමිවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.
රන්ජන්ගේ මෙම හඬපට හුටපටයෙන් දඬුවම් ලැබෙන්නේ ඔහුට පමණක් නොව, ඔහු සමග කථාබහ කළ විනිසුරුවරුන්ටද දැන් සිදුව ඇත්තේ දඬුවම් ලබන්නටය. දැනටමත් බැද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් වී හමාරය. ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කිරීමේ නිර්දේශය පවා අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර හමාරය. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මියගේ විශ්‍රාම වැටුපත් වැඩි කල් යන්නට මත්තෙන් අහිමි වනු ඇති බව පැවසේ.
විනිසුරුවරුන්ට පමණක් නොව, පොලීසියේ ලොකු මහත්වරුන් කිහිප දෙනෙකුටද සිදුවන්නේ මේ තත්ත්වයමය. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි ශානි අබේසේකර සිටින්නේ ඉහළින්මය. ඔහුව අත්අඩංගුවට පත්වීමේ ඉඩකඩද වැඩිය. ඒ රන්ජන්ගේ හඬ පටවල පලවිපාකයන්ය.
ඒ කෙසේ වෙතත් රන්ජන්ගෙන් හඬින් යුතුව නිකුත් වී ඇති මෙම හඬ පට නිසා දැන් සියලුදෙනාම චෝදනා එල්ලකරනු ලබන්නේ රන්ජන්ටය. එම හඬ පට රන්ජන් විසින් එළියට නොදැම්මද ඇතැමුන් දැන් රන්ජන්ට පහර පිට පහර ගසමින් ඒ සියල්ලටම වැරැදිකාරයා රන්ජන් ලෙස හංවඩු ගැසීමට පියවර ගෙන තිබේ. නමුත් රන්ජන්ද මේ වන විට සිටින්නේ මේ සම්බන්ධයෙන් තරමක කෝපයට පත්වය. පසුගිය සතියේදී ‘පී’ මැදිරියට දැමීමෙන් පසු රන්ජන්ව මුණගැසීම සඳහා හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ යන මන්ත්‍රිවරුන් පැමිණ සිටි අතර එහිදී හරීන්ට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රන්ජන් කියා ඇත්තේ මේ එළියට පැමිණ ඇත්තේ ඉතා ස්වල්පයක් පමණක් බවත්, තමන් සන්තකයේ මීට වඩා ඉතා ආන්දෝලනාත්මක හඬ පට පවතින බවත්ය. ඒවා තමන් නිදහස ලබා එළියට පැමිණි දිනක රටට හෙළිදරව් කිරීමට පියවර ගන්නා බවත්, එවිට දැන් සුදනන් මෙන් සමාජයේ සිටින බොහෝදෙනකුගේ රෙදි ගැලවී යනු ඇති බවත් රන්ජන් මෙහිදී හරීන්ට කියා ඇති බවද දැනගන්නට ඇත.
නීතිපති උපදෙසින් අධිකරණයෙන් ලබාගන්නා වරෙන්තුවකට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගන්නේ විනිසුරුවරුන්ට නඩු කටයුතු සම්බන්ධයෙන් කළ බලපෑම් නිසාය. පොලීසිය අත්අඩංගුවට ගැනීමට ගිය විට ඔහු එතැනද රංගනයක නිරත විය. ඒ ෆේස්බුක් මගින් සජීවීව පටිගත කිරීමක් අන්තර්ජාලයට මුදා හරිමිනි. බන්ධනාගාර ගතවන්නට සූදානම් බව පෙන්වමින් ඔහු ශාරිරික ව්‍යායාම්වලද නිරතවන අයුරු එම වීඩියෝවේ දැක්නට විය. අනතුරුව ඔහු සිය තට්ට හිස වසා දමා තිබුණු බොරු කොණ්ඩය පවා සකසමින් සුවද විලවුන් පවා ගල්වන ලද්දේ මගුල් ගෙදරකට යන්නට සූදානම් වන ආකාරයටය. ඊට පෙරද ඔහුව බස්නාහිර පළාත් දකුණූ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නට ගිය විට රැවුල් කපා නා පිරිසිදු වී කාමරයෙන් පිටතට එන තුරු බලා සිටීමට පොලීසියට සිදුවිය. අවසානයේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම් ප්‍රධානියාව බදාගෙන සිප වැලද ගැනීමෙන් අනතුරුවය. ඒ ගැන වෙනමම විමර්ශනයක් මේ වන විට සිදුවන්නේ එම පොලිස් නිලධාරියාට එරෙහිවය. ඒ සැකකරුවෙක් වන රන්ජන් රාමනායකට ඔහුව සිප ගැනීමට ඉඩ ලබාදී බලා සිටීම නිසාය.
රන්ජන්ගේ හඬ පට නාටකය මෙසේ දිග හැරෙන විට පසුගිය 16 වෙනිදා කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් යටකරමින් පලා යන්නේ ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍යාංශයට අයත් ජිප් රථයක ගමන් කරමින් සිටි පිරිසකි. එම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළකු මිය යන අතර එම පුද්ගලයාගේ බිරිද සහ දියණිය බරපතළ ලෙස තුවාල ලැබුණේය. රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුවන අතර පොලීසිය සදහන් කරන්නේ ජිප් රථයේ පැමිණි පිරිස පොලීසියට එම අනතුර ගැන වාර්තා නොකර එම ස්ථානයෙන් පළාගොස් ඇති බවය. මේ වන විට චෝදනාවක් නැගෙන්නේ අනතුර සිදුවන විට එම රථයේ එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයාද සිටි බවය.
පළායාමෙන් පසු ජිප් රථයේ රියැදුරු යැයි කියමින් යම් පුද්ගලයෙක් රෝහල්ගතව ඇති අතර ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකපිටය.
මේ අතර මැගසින් බන්ධනාගාර ගතකර සිටින ගොනා කෝවිලේ රොහාව බන්ධනාගාරය තුළ වෙඩි තබා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් ගෙවී ගිය සතියේ හෙළිවිය. මේ වන විට ප්‍රංශයේ රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අංජු නැමැත්තා විසින් එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර තිබුණේ සිරදඬුවම් ලබමින් සිටින නගුලන් නැමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා මගිනි. මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින ඔහුට රොහාට වෙඩි තබා ඝාතනය කිරීම වෙනුවෙන් වෙන් කළ මුදල ලක්ෂ 20කි. ඒ වෙඩික්කරුට වෙන්වූ මුදලය. එහෙත් ඒ ඝාතන සැලසුම වෙනුවෙන් ඔහු ඒ වන විටත් වෙන්කර තිබුණේ රුපියල් කෝටි 02ක මුදලකි. ඒ සදහා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් බන්ධනාගාරයට යැවෙන්නේ කොටස්වලට වෙන්කරය. එම ගිනි අවි කොටස් බන්ධනාගරයට රැගෙන යාම වෙනුවෙන් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ටද අතමිට සරිවෙන්නටම ගෙවීම් කර ඇති බව සඳහන්ය. කෝටි දෙකක් වෙන්ව ඇත්තේ එම ගෙවීම්ද සමගිනි.
මෙයට පෙරත් රොහාව ඝාතනය කිරීමට බන්ධනාගරයට සයනයිඞ් පවා යවා තිබුණේය. ඒ පිටුපසද සිටියේ අංජුය. මෙවර ගිනි අවියේ සියලුම කොටස් බන්ධනාගාරයට ගොස් තිබී ඇති අතර ඉතිරිව තිබී ඇත්තේ පතොරම් සහ පතොරම් ගැබ පමණි. මෙයට පෙර ගල්කිස්ස උසාවිය ඇතුළේම රොහාව ඝාතනය කිරීමේ සැලසුමක්ද ක්‍රියාත්මක විය. ඒ සදහා අධිකරණ ශාලාව තුළට ගිනි අවි දෙකක්ද රැගෙන ගොස් තිබුණි. එම ඝාතන සැලසුම ව්‍යාර්ථ වන්නේ අධිකරණ ශාලාවේ අසුන් ගෙන සිටි පුද්ගලයෙක් එම අවි පාර්සලය දැක පොලීසියට ඒ ගැන කීම නිසාය. එසේ නොවන්නට රොහා ඝාතනය වන්නේ එදාමය.
රොහාගේ ඝාතන තොරතුර ලැබෙන්නේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයටය. එහි නිලධාරීන් බන්ධනාගාර බලධාරීන්ව දැනුවත් කිරීමත් සමග මැගසින් බන්ධනාගාරය පූර්ණ සෝදිසියකට ලක්විය. කොටස් වශයෙන් බන්ධනාගාරය ඇතුළට ගිය එම අවිය සෝදිසි මෙහෙයුමේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන්ට හමුවූ බවට තොරතුරු බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී ඇතත් ඒ ගැන බන්ධනාගාර පාර්ශවයෙන් කිසිවක් කියන්නේ නැත. කෙසේ වෙතත් රොහාට ඇතිව තිබෙන තර්ජනය හමුවේ ඔහුව දැඩි ආරක්ෂාවක් සහිතව මහර බන්ධනාගාරයට යවන්නටද බලධාරීන් පියවර ගත්තේය. රොහාට මේ විශේෂ සැළකිල්ල ලැබෙන්නට ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම්වල හයියද බලපාන්නට ඇත.










