මහේස්‍ත්‍රාත්වරයකුගේ නිල නිවෙසේ ආරක්ෂාවට යොදවා සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරයකු හොරොයින් මිලිග්‍රෑම් 405ක් සමඟ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් සේවයට එක්ව තවමත් වසරක කාලයක් සම්පූර්ණ වී නොමැති මෙම කොස්තාපල්වරයා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
නිවිතිගල පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම නිලධාරියා පේමඩු, කරඹගොල්ලෑවේ පදිංචිකරුවෙකි. ඉකුත් 24 වෙනිදා ඔහු සිය උසස් නිලධාරින්ගේ කිසිදු අවසරයක් නොමැතිව අනුරාධපුරයේ නිවසට පැමිණ ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අනුරාධපුර නගරයේ මාර්කට් පෙදෙසේදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලදී ගෙන යමින් සිටියදීය.
ඊසි කෑෂ් ක්‍රමයට අනුරාධපුරයේ සිදුවන මත්කුඩු ජාවාරමක් ගැන දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනයකින් අනතුරුව කළ වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා හසුවූ බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා තුරුම පොලිස් නිලධාරියෙක් බව නොදැන සිටි බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ










