මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් නුගේගොඩ දෙල්කඳ හන්දියට ආසන්න ප්‍රදේශයකදී නතර කර නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඉතා පහත් අයුරුන් අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ විදානගමගේ අමේෂ් රුවන්ත නමැත්තා මිරිහාන පොලිසියට පැමිණ ඊයේ (08) භාර වී තිබේ.
මොහු නර්තන ශිල්පියකු ලෙස ද කටයුතු කරන කරණවැමියකු වන අතර තමා ලොකු අයවද හොඳින් දැන හඳුනන බව කියමින් පොලිස් නිලධාරීන්ට බැණ වැදී තිබිණි.
මහරගම නල්ලවත්ත පාරේ තාවකාලිකව පදිංචිව සිටින ගාල්ල බටදූව ලුණුවිලවත්තේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු සිය බිරිය සමඟ එක්ව මහරගම නාවින්න හන්දියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. රථ වාහන අංශයේ නිලධාරීන්ට මෙම සැකකරු බැණ වදිමින් රාජකාරියට බාධාකර ඇත්තේ පසුගිය 05 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස් පොත්වල සටහන් තබා ඉහළ නිලධාරීන්ව දැනුම්වත්කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කළේය. මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ලෙස බැණ වදිමින් ලොකු අය කිහිප දෙනකුගේ නම්ද එහිදී කියා තිබේ. ඒ හැම දෙයක්ම ඉතා සංයමයකින් පොලිස් නිලධාරීන් අසා සිට ඔහුගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා දී ඇත. එවිට ඔහු පවසා ඇත්තේ තමාගේ රියදුරු බලපත්‍රය නිෙවසටම එනු ඇති බවය. සිය ලොකු කම් කියැවූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිෙවසද රූපලාවණ්‍යාගාරයද ගාල්ලේ නිෙවසද පොලීසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක්කර තිබේ. එහෙත් ඔහු ඒ කිසිදු තැනක සිට නැත. මේ පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය සොයා ගත් පොලිසිය එය ජාල පරීක්ෂාවකට ලක්කර කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු අනුරාධපුරයේ රැඳී සිටින බවකි. ඒ අනුව ඔහුව අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනීමටද එහිදී මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු නර්තනයක නිරත වීමට අනුරාධපුරයට ගොස් ඇති බවත් ඒ වන විට කොළඹ බලා පිටත්ව ගොස් ඇති බවය. පෙරේදා (07) රාත්‍රී කාලයේදී කොළඹට පැමිණ සැඟවී සිටි ඔහු පෙරේදා (07) පොලිසියට පැමිණ හඬා වැලපෙමින් පොලිස් නිලධාරීන්ගෙන් සමාව ඉල්ලා තිබේ. සිය බිරිය සමඟ ගැටුමක් ඇති කරගෙන එදින නිෙවසින් පිටව යමින් සිටියදී එසේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ බැවින් බිරිය සමඟ ඇතිකරගත් ගැටුම හේතුවෙන් ආවේගයට එසේ පොලිස් නිලධාරීන් සමඟ හැසුරුණු බව ද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ හඬමින් පවසා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා උත්සව අවස්ථාවන්වලදී නර්තන ඉදිරිපත් කිරීම සිය වෘත්තිය කර ගත් අයෙක් බවත් සමාජ ශාලාවල පවා නර්තන සඳහා ඉදිරිපත් වන්නෙක් බවත් පොලිසියට පෙනී ගොස් තිබේ.
අන් අයට ගරු කිරීමක් නොමැති, අන් පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වය ගැන තැකීමක් නොකරන, සිය බලපුළුවන්කාරකම් ගැන පමණක් සිතන, නැති බලයක් ආරෝපණය කරගෙන සිටින තැනැත්තෙක් ලෙස විමර්ශනයේදී මොහු ගැන තොරතුරු පොලිස් නිලධාරීන්ට ලැබී ඇත. රථ වාහන වැරැද්දකට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරීන් හමුවේ පවා ඔහු පෙන්වා ඇත්තේ ඔහුගේ ඒ චර්යාව බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරුව අද (09) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගයාන් කුමාර වීරසිංහ