පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට ඉදිරිපත් කර ඇති යෝජනාවකට මැතිවරණ කොමිසම එකග වී ඇති බවට දේශය යැයි කියන පුවත්පතක් වාර්තා කර ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේය.
මව්රට වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ තම කොමිසමේ කාර්යය මැතිවරණය පැවැත්වීම බවත්, එම කටයුතු නිසි ආකාරයට සිදු කෙරෙමින් පවතින බවත්ය.
ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම මහභාණ්ඩාගාරයේ වගකීම බවත්, ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීම බවත්, අනෙකුත් අවශ්‍යතා සපයා දීම ඒ ඒ අංශවල වගකීම බවත් ඒ මහතා කියා සිටියේය.
එම නිසා මෙම පුවත පිළිබදව එම පුවත්පතෙන්ම විස්තර අසා දැනගන්නා ලෙසද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් පසුගිය සති කිහිපය පුරාම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් මැතිවරණය කල් දමා ගැනීම සදහා විවිධ අසත්‍ය පුවත් වාර්තා කළ ආකාරයක් දැකගතහැකි විය.
මෙම පුවතද වාර්තා කොට තිබුණේ රුවන් විජයවර්ධන මහතාට අයත් දේශය යැයි කියාගන්නා පුවත්පතකය.
එම අසත්‍ය පුවත මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක්ද මහ ඉහළින් වාර්තා කර ඇති ආකාරයක් දැකගත හැකිය.
දේශය යැයි කියාගන්නා පුවත්පත වාර්තා කර තිබූ පුවත
යෝජිත පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ කර ගැනීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
අප වෙත ලැබෙන වාර්තා අනුව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මැතිවරණය කල් දැමීමට අදාළ නඩුව කැඳවන මීළඟ දිනයේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම නඩුව මීළඟට කැඳවීමට ඇත්තේ පෙබරවාරි මස 10දාය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මුදල් අමාත්‍යංශයට මේ අවස්ථාවේ මැතිවරණයට අවශ්‍ය මුදල් සැපයීමේ අපහසුතාව, පොලිසියට මැතිවරණයේ ආරක්ෂාව සැපයීමේ අපහසුතාව, මැතිවරණයේදී ඉන්ධන හා සෙසු බලශක්ති සැපයීමේ අපහසුතාව, මැතිවරණ සීමා නිර්ණය කටයුතු මෙතෙක් හමාර නොවීම, මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි මේ දක්වා විධිමත්ව සකස් නොවීම, තරුණ නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට යෝජිත හේතු අතර වන බව සඳහන්ය.
රජයේ මෙම යෝජනාව විවෘත අධිකරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට එම කොමිසමේද එකඟතාවෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බව මේ ගැන කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.