එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ගාල්ලේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකදීයි.
“රටේ ජනතාවගෙන් බහුතරයක් පොදු පෙරමුණ ජයග්‍රහණය කරවා තිබෙනවා. එම ජයග්‍රහණය අප හිස නමා පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ එකම අවස්ථාව මෙය නොවෙයි. විවිධ අවස්ථාවල අප පරාජයන්ට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව විශාල ජයග්‍රහණයක් ලැබුවත් ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට වන ආර්ථික අපහසුතාවයනට රජයට නොහැකිවන බව අපගේ විශ්වාසයයි.
මැතිවරණ ජයග්‍රහණයේ දී විපක්ෂයේ සියලු පක්ෂ ලබාගත් ඡන්දවල එකතුවට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුව ලබාගෙන තිබෙනවා. එය රටේ බහුතර ජනතාව ගනු ලැබූ තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමක් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ නැහැ. පක්ෂයකට දැඩි විනයක් තිබිය යුතුයි. ඉදිරියේ දී පක්ෂයේ විනය පිළිබඳව දැඩි තීරණ ගනු ලබනවා. අප හෙට සිටම බිම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරනවා” යැයි ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් පැවසීය.










