කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවත්, එන්නත ලබා ගැනීමෙන් පසු වඳ භාවය ඇතිවෙන බවට අසත්‍ය මතයක් සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කර ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
“මේ එන්නත්වලට ලංකාවේ ජනතාවගේ ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒ කියන්නේ ප්‍රතිදේහ කොහොමද හැදෙන්නේ කියලා. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ විතර රුධිරය අරගෙන ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් ගිහින් තියෙන්නේ. දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. නමුත් එන්නත්කරණය ගැන සමාජ ජාල මාධ්‍යවල ඉතාමත්ම වැරදි මත පැතිරෙනවා. එකක් තමයි වඳ භාවය ඇති වෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතාගන්නත් බෑ. ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.









