ඇවන්ඩ්ගාඩ් සිද්ධිය මුල්කරගෙන නීතිපතිවරයා සහ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම අතර බරපතළ මතගැටුමක් මේ වනවිට මතුව ඇත.
නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනිමට ලක්වු බව කියන රජයේ නිලධාරීන් සහ සන්නද්ධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවත්, පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට බලයක් නොමැති බවත් සඳහන් කරමින් කොමිසම වෙත ඊයේ කර තිබූ ලිඛිත දැනුම්දීම මේ සදහා මුල් වී තිබේ.
ඒ අනුව ද්විත්ව චරිත නිරූපණයක නොයෙදෙන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) දැනුම් දුන්නේය. තම සීමාව ඇතුළත සියලු දේ කරන ලෙස නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට අවවාදාත්මකව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, තම සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙසද දැනුම් දුන්නේය.
ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ ක්‍රියාකිරීමට නීතිපතිවරයාව ඇති බලය පැහැදිලි කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එලෙස ප්‍රකාශ කළේය.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ විමර්ශනය පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ආරම්භ කරනු ලැබුවේ එය තම කොමිසමේ විෂය පථයට වැටෙන බවට නිවැරදි නිගමනයට එළැඹීමෙන් පසුව බව අවධාරණය කළ සභාපති විනිසුරුවරයා, ජනාධිපති කොමිසම විසින් සිදුකරන වැඩවලට බාධා නොකරන ලෙසට නීතිපතිවරයාට දැනුම් දුන්නේය.










