අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා) අනාවරණය වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් වහා මේ පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව අවධාරණය කොට ඇත.
මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ.
වගකිව යුතු අංශ ඒ පිළිබදව හැකි ඉක්මණින් ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා පෙන්වා දීී ඇත.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලි ඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය.
එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.