• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

අමෙරිකාව බදාදා ලංකාවට එවන්න යන ‘මිසයිලය’! (රාජ්‍ය රහස්) EXCLUSIVE

October 16, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 21 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

රනිල් ගහන්න යන ජන්ද ගේම!

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයම එකමුතු වෙයි!

එකපාරටම සොල්හයිම්ට පට්ටමක් දුන් හේතුව එළියට එයි!

සජිත් හොරෙන් ගිය ගමන!

පොහොට්ටුව රාජපක්ෂලාව හලයි!

රනිල් ජන්දය කල් දාන්න ගහපු තුරුම්පුව!

ආර්ථික අර්බුදයෙන් ජනතාව හෙම්බත් වී සිටින අතරවාරයේ එම ආර්ථික අර්බුදය තුළ දේශපාලන අර්බුදයක්ද නිර්මාණය වන ආකාරයක් පසුගිය දින කිහිපය තුළ දැකගන්නට ලැබිණි. ඒ, ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගෙනය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මේ වන විට 8,000කට අධික පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බවත්, එම ප්‍රමාණය 4,000 දක්වා අඩු කිරීමට සැලසුම් කොට ඇති බවත්, දැනට පළාත් පාලන ආයතන සභාපතිවරයා සතු බලතල කමිටුවට පැවරීමට සැලසුම් කොට ඇති බවත්ය. ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව සුදානම් බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

UNP වෘත්තීයවේදීන්ට ආරාධනා කරපු හැටි!

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන් ඉදිරියේ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරද්දී එම රැස්වීම සංවිධාන වූ ආකාරය පිළිබඳවද රසවත් පසුබිම් කතාවක් තිබේ. මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන් හට කෙටි පණිවුඩ යවා තිබුණේ ඉකුත් ඔක්තෝබර් 04 වැනි දිනය. ඒ පක්ෂයේ නීති ලේකම්වරයා වන ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා විසිනි. එමගින් දැනුම්දී තිබුණේ ඔක්තෝබර් 09 වැනි දින පෙරවරු 9.45ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවත්, නොවරදවා ඊට සහභාගි වන ලෙසත්ය.

පක්ෂය නග්ගන හැටි ගැන වචනයක් නෑ!

මෙම කෙටි පණිවුඩය ලද වහාම එජාප වෘත්තීයවේදීන් මහත් සතුටට පත්වූයේ ජනාධිපතිවරයා එජාපය යළි ප්‍රතිසංවිධාන කොට ජයග්‍රාහී මාවතට ගැනීම සඳහා වැඩකටයුතු ආරම්භ කරනු ඇති බවට ආ සිතුවිල්ල නිසාය. ඒ අනුව ඔවුන්ද ජැන්ඩියට ඇඳ පැලඳගෙන ඉකුත් 09 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ ඊළඟ මහ මැතිවරණයේදී එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ සැලසුම ජනාධිපතිවරයා විසින් හෙළිකරනු ඇති බවට වූ සිතුවිල්ල ඇතිවය. නමුත් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් රැස්වීමට සහභාගි වූ ජනාධිපතිවරයා ආරම්භයේ සිටම කතා කළේ ලිපිය මුලදීම අනාවරණය කළ පරිදි ඡන්ද කල්දැමීම පිළිබඳවය. මැතිවරණ පනත සංශෝධනය කරන ආකාරය පිළිබඳවය. ජනමත විචාරණ පවත්වන ආකාරය පිළිබඳවය. එජාපය ප්‍රතිසංවිධාන කොට කෙළින් කටින් සිටුවන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා කතා කරනු ඇති බවට එජාප වෘත්තීයවේදීන් සිතා සිටියද ඒ ගැන වචනයක් හෝ ජනාධිපතිවරයාගේ කටින් පිට නොවීම හේතුවෙන් ඔවුන්ද රැස්වීමේ මහත් අපහසුතාවට පත්ව සිටිය ආකාරයක් දැකගත හැකි විය.

සැලැස්ම හැදුවේ අද ඊයේ නොවේ!

කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම සැලසුම සකස් කොට ඇත්තේ අද ඊයේක නොවේ. ජනාධිපති ධුරයට පත්වූ වහාම පැවැති අභ්‍යන්තර සාකච්ඡාවලදී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ පවතින ක්‍රමය යටතේ ඡන්ද ජයග්‍රහණය කිරීම එජාපයට ඉතා අසීරු බවත්, ඒ හේතුවෙන් ඊළඟ ජනාධිපතිවරණය පවත්වන තෙක්ම අවුරුදු 3ක කාලයකට ඡන්ද සිතියම අකුලා දැමිය යුතු බවත්ය. සැලසුම්සහගතව ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කට මුලටම පැමිණි තිබියදී එජාප වෘත්තීයවේදීන් කැඳවා ඡන්ද සිතියම හකුලා දැමීමේ සිය සැලැස්ම එළියට දැම්මේ ඒ අනුවය.

සජිත්ට පළමු ඇමතුම ජී.එල්.ගෙන්!

09 වැනිදා පෙරවරුවේ මෙම රැස්වීම පැවැතියත් ජනාධිපතිවරයා එහිදී කළ කතාවේ තොරතුරු ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට නිකුත් කළේ එදින පස්වරුවේය. එම නිවේදනය දුටු සැණින් ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයකට බව වටහා ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ට අසීරු නොවීය. ඒ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ කොළඹින් පිට ආසන බලමණ්ඩල සඳහා සහභාගී වෙමිනි. ඒ අනුව විපක්ෂ නායකවරයාට පළමු දුරකතන ඇමතුම පැමිණියේ වෙන කාගෙන්වත් නොව හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙනි. ජී.එල්. එහිදී සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුව ඡන්ද කල් දැමීමට සූදානම් වන බවත්, එය ඉතා භයානක යෝජනාවක් බවත්, ඊට එරෙහිව විපක්ෂය එක්සත්ව එය පරාජය කරලීමට සූදානම් විය යුතු බවත්ය.

සජිත් පළමු ප්‍රහාරය එල්ල කරයි!

එහිදී සජිත්ද කියා සිටියේ තමන්ටද මේ පිළිබඳ තොරතුරු වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් සවස පැවැත්වෙන බලමණ්ඩල රැස්වීමේදී සිදුකරන බවත්, විපක්ෂයම එකාවන්ව ආණ්ඩුවේ මෙම උත්සාහය පරාජයට පත්කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව එදිනම සජිත්ද, ජී.එල්., ඩලස් පාර්ශ්වයද ඊට එරෙහිව වෙන් වෙන්ව ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගත්හ.

ජවිපෙ විජිතත් විරුද්ධයි!

එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ද එදිනම මාධ්‍ය හමුවක් කැඳවමින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලීමට සූදානම් වෙමින් ඡන්ද කල්දැමීමට සූදානම් වන බවත්, සියලු දෙනා එක්ව එය පරාජයට පත්කරලීමට කටයුතු කළ යුතු බවත් කියා සිටියේය.

සජිත් කරලත් පෙන්වයි!

විපක්ෂ නායක සජිත් ඊට පූර්වාදර්ශයක් දෙමින් ප්‍රකාශයක් නිකුත් කළා පමණක් නොව එදිනම රාත්‍රියේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරලීමටද කටයුතු කළේය.

ලීගල් ටීම් එක ලෑස්තියි!

ඊට අමතරව ජී.එල්. සහ සජිත් අතර පැවැති දුරකතන සාකච්ඡාවේදී ආණ්ඩුවේ මෙම වෑයම අධිකරණය හරහා පරාජයට පත්කරලීමේ අවස්ථාව පිළිබඳවද කරුණු හුවමාරු විය. එහිදී සජිත් දැනුම් දී සිටියේ ලංකාවේ නඩුවකට මේ දක්වා පෙනී නොසිටි ඉහළම පෙළේ නීතිඥ කණ්ඩායමක් ඒ සඳහා ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවකි. එමෙන්ම පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසී ඔවුන්ගේ අදහස් විමසීමට පියවර ගන්නා බවද සජිත්, ජී.එල්.ට දැනුම් දී සිටියේය. ජී.එල්.ද පෙරළා කියා සිටියේ තම කණ්ඩායමද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම්ව සිටින බවකි.

විපක්ෂය එකමුතු කිරීම ඩලස්-ජී.එල්. බාරගනී!

ඊට අමතරව ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ සැලැස්ම පරාජය කිරීමට විපක්ෂය එකමුතු කිරීමේ කටයුත්ත ජී.එල්.-ඩලස් පිල භාරගත්තේය. ඒ අනුව අගඟරුවාදා පෙරවරුවේ සිටම විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ වන සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණට කතා කළ ජී.එල්. – ඩලස් පිල බදාදා රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේ කැඳවා ඇති බවත්, ඊට සහභාගි වන ලෙසත් දැනුම්දී සිටියේය. විපක්ෂයේ මෙම පක්ෂවලට අමතරව ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීනව විපක්ෂයේ අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, නව සමසමාජ පක්ෂය ආදී පක්ෂවලටද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද ආරාධනා කිරීමට ඩලස් පිල කටයුතු කළහ. ඉතා කෙටි දැනුම්දීමකට අනුව සිද කළද එම ආරාධනාව පිළිගනිමින් එදින සවස ඩලස් පිලේ නියෝජිතයන්ට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමාන්, පාඨලී චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍යන් රාසමානික්කම්, මහාචාර්ය තිස්ස විතාරණ, ජයන්ත සමරවීර, අසංක නවරත්න, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විශාල පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ. මෑත ඉතිහාසයේ මේ අයුරින් විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් පොදු කාරණාවකට එකතු වූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකිය හැකිය.

ජවිපෙට ආරාධනා කළත් ඇවිත් නෑ!

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු සාමාජිකයකු ඊට එක්ව නොසිටීමය. සාකච්ඡාවට පැය කිහිපයකට පෙරාතුව විජිත හේරත් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සියලු දෙනා එක්විය යුතු බවට සඳහන් කර තිබුණද ජවිපෙ කිසිදු සාමාජිකයකුගේ මුහුණක් රැස්වීමේදී දැකගන්නට නොලැබීම එහි මාතෘකාවක් බවට පත්වීම නොවැළැක්විය හැකි විය.

මොනාක් ඉම්පීරියල් රැස්වීම!

ඒ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සියලු නියෝජිතයන් අවධාරණය කොට සිටියේ ආණ්ඩුවේ මැතිවරණ සිතියම අකුලා දැමීමේ වෑයමට එරෙහිව දැඩි සටනක් ක්‍රියාත්මක කළ යුතු බවකි. පාර්ලිමේන්තුව තුළදී පමණක් නොව පාර්ලිමේන්තුවෙන් පිටතදීත්, අධිකරණය තුළදීත් මෙම සටන දියත් කළ යුතු බව එහි සිටි සියල්ලන්ගේම අදහස විය. ආණ්ඩුව බොහෝ දුරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඡන්දය කල් දැමීමට සැලසුම් කරනු ඇති බවත්, මැතිවරණ ක්‍රමයට සංශෝධන කිරීම අත්‍යාවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය කල් නොදමා එම සංශෝධන සිදුකිරීමට පියවර ගත යුතු බවත් සියල්ලන්ගේම ස්ථාවරය විය. ආණ්ඩුව නීති විරෝධී ආකාරයට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ඉතිහාසයේ විශාලතම නඩුව ගොනුකිරීමටත්, ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජන බලවේගයක් නිර්මාණය කිරීමටත් මෙහිදී තීන්දු විය.‍

මැතිවරණ කොමිසමේ මතය!

මීට අමතරව ඩලස් එදින පෙරවරුවේ මැතිවරණ කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරුද පිරිසට ඉදිරිපත් කළහ.
‘අපි අද දවල් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා හමුවෙලා සාකච්ඡා කළා. එතුමා කිව්වා නීත්‍යනුකූල ආකාරයට මාර්තුවලට කලින් මැතිවරණය පවත්වන්න කොමිසම කටයුතු කරනවා කියලා. අලුත් ඡන්ද ලැයිස්තුව මේ දවස්වල සකස් කරන නිසා ඔක්තෝබර් 20ට පස්සේ ඒ වැඩකටයුතු අවසන් කරන්න පුළුවන් කියලා තමයි සභාපතිතුමා අපට කිව්වේ…’ යනුවෙන් ඩලස් පිරිසට පෙන්වා දුන්නේය.

තීන්දු 3ක් ගනී!

ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ තීන්දු තුනකට සියලු දෙනාගේ එකඟතාව ලැබීමෙන් අනතුරුවය. පළමු තීන්දුව වූයේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයකට අස්සන් කිරීමය. එම නිවේදනය සකස් කිරීම මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැවරිණි. දෙවැනි තීන්දුව වූයේ ඒකාබද්ධ අධිකරණ ක්‍රියාවලියකට යොමුවීමය. තුන්වැනි තීන්දුව වූයේ පළාත් පාලන පනතට පාර්ලිමේන්තුවේදී සංශෝධන සිදුකිරීමට උත්සාහ කළහොත් එය පරාජයට පත්කිරීමය.

ජවිපෙ නොආ ‌එක ගැන මන්ත්‍රීවරු කියපු කතා!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු පිරිස එළියට එද්දී සාකච්ඡාවට ආරාධනා කර තිබියදීත් ජවිපෙ ඊට එක් නොවීම පිළිබඳ මන්ත්‍රීවරුන් අතර විශාල කසුකුසුවක් ඇතිවිය.
‘අපි ජේ.වී.පී. එකටත් මේ සාකච්ඡාවට එන්න කියලා ආරාධනා කරලයි තිබ්බේ. අනෙක විජිත ප්‍රෙස් එකක් තියලා කිව්වා ආණ්ඩුවේ ඡන්දෙ කල්දාන වැඩේට විරුද්ධව ඔක්කොම එකතු වෙන්න ඕනෙ කියලා. හැබැයි එහෙම කියලත් පුරුදු විදියටම ඒගොල්ලො මේ සාකච්ඡාවෙන් කරඇරියා. මට නම් පේන්නේ ජේ.වී.පී. එකත් කැමැත්තෙන් ඉන්නෙ ඡන්ද කල්දාන එකට. මොකද ඒ අයත් දන්නවා ඡන්දෙ තිබ්බොත් ඒ අයටත් අවාසියි කියලා. ඒ නිසා තමයි මේ මීටිමට ඒ අය ආවෙ නැත්තෙත්…’ යනුවෙන් එක් මන්ත්‍රීවරයෙක් කියද්දී තවත් මන්ත්‍රීවරයෙක් ‘ලංකාසර’ නමැති වෙබ් අඩවියක පළව තිබූ පුවතක් පිළිබඳ පිරිසේ අවධානය යොමු කළේය. එම ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණේ එජාප නායකත්වයට අතිශය හිතවත් ව්‍යාපාරිකයකු හරහා ජනාධිපතිවරයා ජවිපෙ මෙහෙවීමට කටයුතු කරමින් තිබෙන බවකි. එම ව්‍යාපාරිකයාගෙන් ලැබුණු උපදෙස් අනුව ජවිපෙ මෙම සාකච්ඡාවට සහභාගි නොවීමට තීන්දු කර ඇති බවට සැකයක් ඇති බවද එම මන්ත්‍රීවරයා කියා සිටියේය. මේ අයුරින් පැමිණ සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජවිපෙ දෙබිඩි ප්‍රතිපත්තිය විවේචනය කරමින් අදහස් දැක්වුවද ඩලස් පිලේ ස්ථාවරය වී තිබුණේ කෙසේ හෝ ජවිපෙත් මෙම වැඩපිළිවෙළට එකතු කරගත යුතු යැයි කියාය.

පොහොට්ටුව විතරක් රනිල්ගේ සපෝට් එකට එයි!

මේ ආකාරයට සමස්ත විපක්ෂයම ජනාධිපතිවරයාගේ මැතිවරණ කල්දැමීමේ උත්සාහයට විරෝධය පළකිරීමට තීන්දු කරද්දී ජනාධිපතිවරයාගේ සහායට පොහොට්ටුව පමණක් පෙරට ඒම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්, බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මේ අවස්ථාවේ මැතිවරණ පැවැත්වීම සුදුසු නැති බවත්, ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පොහොට්ටුවද එකඟ බවත්ය.

ජපානය තරහ කරගැනීමේ පලවිපාක!

ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් රට බරපතළ තත්ත්වයකට මුහුණ දී තිබියදී මේ වන විට මතුව ඇති ජාත්‍යන්තර අර්බුදය මුල් කරගෙන ආණ්ඩුව පත්ව සිටින්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ තත්ත්වයකටය. පසුගිය සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ලද ඉතිහාසගත පරාජය එම අර්බුදයේ ආසන්නතම සිදුවීමය. ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ලංකාව සමග අතිශය සමීපව කටයුතු කළ රටවල් පවා විරසක වී සිටින ආකාරය එම ප්‍රතිපලයෙන් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. විශේෂයෙන් ජපානය පිළිබඳ එහිදී යමක් සඳහන් කළ යුතුමය. එදා සිටම ජපානය ලංකාවේ සහායට සිටියත් ගෝඨාභය පාලන සමයේ සිදුකළ රාජ්‍යතාන්ත්‍රික කෙනහිලිකම් හේතුවෙන් ජපානය සිටියේ බලවත් අප්‍රසාදයකින්ය. ගෝඨා බලයෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තත්ත්වය සමතයකට පත්වනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියත් සිදුවූයේ තත්ත්වය තවත් උග්‍ර අතට පත්වීම හැර අන් දෙයක් නොවේ. ඊට මූලිකවම හේතුවී තිබුණේ ජපානයද නොදැනුවත්ව ජපානය මුල් කරගෙන ආණ්ඩුව විවිධ පුවත් නිර්මාණය කර තිබීමය. මුලින්ම ආණ්ඩුව නිර්මාණය කළ පුවත වූයේ ජපානය ලංකාවට සහාය වීමට ණය සමුළුවක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි කියය. දෙවැනුව කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේදී ජපානය මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට තීන්දු කොට ඇතැයි කියාය. මේ පුවත් පළකිරීම හරහා ආණඩුව බලාපොරොත්තු වූයේ ඉකුත් යුද සමයේදී ලංකාව සම්බන්ධයෙන් ජපාන විශේෂ නියෝජිතයා ලෙස යසුෂි අකාෂි මහතා පත් කළ ආකාරයට මෙවරද ජපානය ලංකාව වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කොට උදව් උපකාර කරනු ැතැයි කියාය. නමුත් මේ සියල්ල ගඟට කැපූ ඉණි බවට පත්වූයේ එවැනි ණය සමුළුවක් පැවැත්වීමට හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී මැදිහත්කරුවකු වීමට හෝ තීන්දු කොට නොමැති බවට ජපානයෙන් නිල නිවේදනයක් නිකුත් වීමත් සමගය. ජපානය එහිදී කියා තිබුණේ පළමුව චීනය සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමෙන් පසු ජපානය තම වැඩ කොටස ටුකිරීමට සූදානම් යැයි කියාය.

සොල්හයිම් ගැන අපි කරපු හෙළිදරව්ව!

මේ ආකාරයට ජපන් විශේෂ නියෝජිතයකු පත්කර ගැනීමේ බලාපොරොත්තුව සුන්වීමෙන් පසු ජනාධිපතිවරයා හැරුණේ යුද සමයේ ලංකාවට නිතර ආ ගිය අයකු වූ නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් දෙසටය. ඒ අනුව සෝල්හයිම් ලංකාවට ගෙන්වා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ විය. ඒ පිළිබඳ පුවත් පළ කරද්දී මෙරට සියලු මාධ්‍ය කිසිදු වගවිභාගයකින් තොරව මහ ඉහළින් වාර්තා කර තිබුණේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස එරික් සෝල්හයිම් ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි කියාය. ඒ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී අපට අනාවරණය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් සෝල්හයිම් කටයුතු කර තිබුණද 2018 ඔහු ඉන් ඉවත් කොට ඇති බවය. ඊට හේතුව වශයෙන් වාර්තා වී තිබුණේ සෝල්හයිම් සිදුකළ විදෙස් සංචාරවලදී අනිසි අයුරින් මුදල් වැයකොට ඇති බවට තොරතුරු තහවුරු වී තිබීමය. අපේ රටේදී නම් මෙය සාමාන්‍ය තත්ත්වයක් වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෙය බරපතළ තත්ත්වයක් වන බැවින් අවසානයේදී සෝල්හයිම්ට සිදුවූයේ තනතුරින් ඉවත් වීමටය. ඒ අනුව අප මෙම විශේෂ තොරතුරු අපගේ www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ හෙළිදරව් කිරීමත් සමග සෝල්හයිම්ගේ තනතුර පිළිබඳ මහ ඉහළින් වාර්තා කළ සියලු මාධ්‍ය එය අකුලාගත් ආකාරයක් දැකගත හැකි විය.

රනිල් දීපු තනතුර!

ඒ අනුව සෝල්හයිම් පසුගිය බදාදා ලංකාවට පැමිණියේ නිකම්ම නිකම් සංචාරකයකු ලෙසටය. එමෙන්ම පසුගිය කාලයේදී සෝල්හයිම් කටයුතු කළේද සංචාරකයකු ලෙසටය. විශේෂයෙන් පසුගිය දිනෙක ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේදී ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගෙන කිසිවකුත් නොගිය ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම හේතුවෙන්ද සෝල්හයිම් යම් ප්‍රසිද්ධියක් ලබා සිටියේය. කෙසේ වෙතත් සංචාරකයකු ලෙස හිස් අතින් ජනාධිපතිවරයා මුණගැසීමට ආ සෝල්හයිම්ට ජනාධිපතිවරයා විශේෂ තනතුරක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, පරිසර කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර උපදේශකයා ලෙස පත්කර ගැනීම හරහාය.

රනිල් ‌ගහන්න යන ගේම් එක!

මේ ආකාරයට හදිසියේම ජනාධිපතිවරයා සෝල්හයිම් ලංකාටව ගෙන්වාගෙන මෙවැනි ආකාරයේ ජනාධිපති උපදේශකකමක් ලබා දීමටද හේතුවක් තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව, පරිසරය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර සංවිධාන විශාල මුදල් කන්දරාවක් වෙන් කිරීමට කටයුතු කර තිබීම නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ ජාත්‍යන්තරයේ ආධාර ලබාගත හැකි සියලුම මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් සෝල්හයිම්ගේ පැරණි සම්බන්ධතා උපයෝගී කොට ගෙන මෙම පරිසර විපර්යාස සම්බන්ධයෙන් වෙන්කොට ඇති අරමුදලෙන් ලංකාවට කිසියම් ආධාර මුදලක් ලබාගැනීමටය. හදිසියේම සෝල්හයිම් ලංකාවට ගෙන්වා ගෙන ඔහුට ජනාධිපතිවරයාගේ පරිසර කටයුතු සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර උපදේශක තනතුර භාරදෙනුයේ ඒ අනුවය.

චන්ද්‍රිකාටත් රනිල් තනතුරක් චෙයි!

මේ ආකාරයට සෝල්හයිම්ගේ තනතුර සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනයත් සමග පසුගිය සතියේදී ජනාධිපතිවරයා ලබාදුන් තවත් තනතුරක් මුල් කරගෙන මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ, ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව’ ලෙස පත්කිරීමත් සමගය. පසුගිය කාලය පුරාම චන්ද්‍රිකා ආහාර සුරක්ෂිතතාව සහ ළමා පෝෂණය සම්බන්ධයෙන් වැඩි කාලයක් ගතකිරීම නිසා ජනාධිපතිවරයා මෙම තනතුර ඇයට ලබාදීමට පියවර ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය වැඩි ප්‍රසාදයකින් සිටියේ නැත. අප මීට පෙර අවස්ථාවකදීද මේ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා අතර කිසියම් දේශපාලන නෝක්කාඩුවක් ඇතිවී ඇති බවත්, එම තත්ත්වය සමනය කරලීම සඳහා ජනාධිපතිවරයාටත්, චන්ද්‍රිකාටත් අතිශය හිතවත් ව්‍යාපාරිකයකු මැදිහත් වී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළ බවත්ය. නමුත් චන්ද්‍රිකා ඊට සහභාගි නොවූ බවද අප එහිදී සඳහන් කර සිටියෙමු.

චන්ද්‍රිකාට යකා නගී!

කෙසේ වෙතත් පසුගිය දිනෙක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චන්ද්‍රිකා වෙත දුරකතන ඇමතුමක් ලැබුණු අතර, එම ඇමතුමෙන් කියැවුණේ ආහාර සුරක්ෂිතතාව සහ ළමා පෝෂණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බවත්, ඊට චන්ද්‍රිකාටද ආරාධනා කර ඇති බවත්ය. මෙම ඇමතුම ලැබීමත් සමග දැඩි කෝපයට පත් චන්ද්‍රිකා එම ඇමතුමට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් ජනාධිපති ලේකම් කාර්යාලය පැත්ත පළාතේ නොඑන බවකි. එවිට දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යාපෘති සඳහා වෙනම කාර්යාලයක් විවෘත කොට ඇති බවත්, සාකච්ඡාව පැවැත්වෙන්නේ එම ස්ථානයේ බවත්ය. එම පිළිතුරට චන්ද්‍රිකාට තවත් කේන්ති ගියේය.

‘නෑ මම කීයටවත් එතනට එන්නෙ නෑ. ඕනෙ නම් ඒ අයට මම ඉන්න තැනට එන්න කියන්න. මම ඒ ඕනෙ උපදෙස් ටික දෙන්නම්…’ යනුවෙන් චන්ද්‍රිකා එහිදී පිළිතුරු දී දුරකතනය විසන්ධි කිරීමට පියවර ගත්තාය.

අලුතින් දාපු කෙනාටත් ‌විරෝධයක්!

චන්ද්‍රිකාගේ මේ ස්ථාවරය නිසැක වශයෙන්ම ආණ්ඩුවේ ඉහළ තැන්වලට දැනුම් දීමට එම නිලධාරීන් පියවර ගෙන ඇති බවක් වැටහී ගියේ ඒ සම්බන්ධයෙන් ගෙන තිබූ ඊළඟ පියවර නිසාය. ඒ අනුව වහාම ඉහළින් චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම සඳහා විශේෂ නියෝජිතයකු පත්කිරීමට පියවර ගැනිණි. ඒ විශේෂ නියෝජිතයා වෙන කවුරුවත් නොව සුරේන් බටගොඩය.

ඒ අනුව ඊළඟ ඇමතුම චන්ද්‍රිකාට ලබාදුන් ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් කියා සිටියේ චන්ද්‍රිකා සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සඳහා සුරේන් බටගොඩ මහතා පත්කොට ඇති බවත්, සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහුට වේලාවක් ලබාදෙන ලෙසත්ය. නමුත් ජනාධිපති කාර්යාල නිලධාරීන්ගේ මෙම ඇමතුමටද චන්ද්‍රිකාට හොඳටම කේන්ති ගියේය. ඒ අනුව සුරේන් බටගොඩ සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක් කළ චන්ද්‍රිකා, තමන් හමුවට බටගොඩ මහතා නොඑවන ලෙසත්, ඔහු සමග තමන් කිසිසේත්ම එකට වැඩ නොකරන බවත් කියා සිටියාය. එම දැනුම්දීමද ඉහළට වාර්තා කිරීමෙන් පසු නැවත වතාවක් චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු පත්කිරීමට පියවර ගැනිණි. ඒ බව දැනුම් දුන් විට චන්ද්‍රිකා ඔහු සමග ගනුදෙනු කිරීමට එකඟතාව පළ කළාය. ඒ අනුව එහි පළමු සාකච්ඡාව චන්ද්‍රිකා සහ එම කමිටුවේ සාමාජිකයන් අතර පැවැත්වීමට පියවර ගැනිණි.

මට තනතුරු එපා! චන්ද්‍රිකාගෙන් පෙරළා ලියුමක්!

කෙසේ වෙතත් මේ සාකච්ඡාව පවත්වා දින කිහිපයකට පසු චන්ද්‍රිකාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ලැබිණි. එම ලිපියේ සඳහන් වුණේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස ඇය පත්කර ඇති බවය. එම පුවත මාධ්‍යවලටද ලබාදී තිබෙනු දුටු චන්ද්‍රිකා නැවතත් කෝපයට පත්ව වහාම ඊට පිළිතුරු ලිපියක් යැවීමට පියවර ගත්තාය. ඒ, අදාළ තනතුර භාරගැනීමට තමන් සූදානම් නැතැයි කියාය. තමන් මෙම වැඩසටහනට සම්බන්ධ වී උපදෙස් ලබාදෙන්නේ කිසිදු තාන්න මාන්නයක් හෝ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බවත්, එම නිසා මෙම තනතුර බාරගැනීම තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඇය එම ලිපියේ සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් තවත් පිරිස් සඳහන් කර සිටින්නේ චන්ද්‍රිකා මුලදී මෙම තනතුරට කැමැත්ත ප්‍රකාශ කොට තිබුණත් ආණ්ඩුවට එරෙහිව නැගෙමින් ඇති විරෝධය හමුවේ පසුව එය භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවය.

ගෙවල් ගිනි ගත්ත අයට එන්න කියයි!

ඉකුත් ජූලි මස 09 වැනිදා සිදුවූ කලබල හේතුවෙන් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් 74 දෙනකුගේ නිවාස ගිනිතැබීමට ලක්වූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කොට තිබිණි. අවස්ථා කිහිපයකදීම මාධ්‍ය සඳහන් කර තිබුණේ දැනටමත් ඒවායේ හානි පූර්ණ වාර්තා ලබාගෙන ඇති බවත්, ආණ්ඩුව මගින් එම නිවාස යළි සාදා දීමට සැලසුම් කොට ඇති බවත්ය. වරක් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද ඊට අදාළ සියලු තොරතුරු ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර තිබූ අතර, එහි වන්දි ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කොට තිබිණි. කෙසේවෙතත් යම් යම් හේතු කාරණා දක්වමින් එම වන්දි ලබාදීම් කල් යෑම හේතුවෙන් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් දැඩි කලකිරීමෙන් සිටින බවද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.

74 අන්තිමේදී 34ට බහී!

මේ නිසාම පසුගිය අඟහරුවාදා දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම මන්ත්‍රීවරුන් 74 දෙනාටම ලිපි යොමු කරමින් බදාදා සවස් වරුවේ විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. මන්ත්‍රීවරුන්ගේ නිවාස ප්‍රශ්නය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම ලිපි මගින් වැඩිදුරටත් කියා තිබිණි. කෙසේ වෙතත් දිගින් දිගටම නිවාසවලට වන්දි ලබාදීම ප්‍රමාද කිරීම නිසා බොහෝ මන්ත්‍රීවරුන් එකිනෙකා සමග පණිවුඩ හුවමාරු කරගනිමින් කියා සිටියේ මේ ආකාරයේ සාකච්ඡා පැවැත්වීම කාලය කා දැමීමක් පමණක් බවත්, එම නිසා තමන් එම සාකච්ඡාවට සහභාගි නොවන බවත්ය. මෙම සාකච්ඡාවලදී සිදුවන්නේ කමිටු දැමීම සහ පෝරම පිරවීම පමණක් බව කියා සිටි ඔවුහු, ඒ හේතුවෙන් එම රැස්වීම වර්ජනය කරන බවද සිය හිතවතුන්ට කියා සිටියහ. ඒ අනුව බදාදා පෙරවරුව වන විට අදාළ රැස්වීමට සහභාගි වන බවට තහවරු කර තිබුණේ මන්ත්‍රීවරු 74 දෙනාගෙන් 44 දෙනකු පමණි. නමුත් 44 දෙනකු සහභාගි වන බව තහවුරු කර තිබුණද අවසානයේදී රැස්වීමට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පමණි.

ආයෙම පොර්ම පුරවන්නලු!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට ලබාදී තිබුණේ මෙතෙක් පැවැති රැස්වීම්වලදී ලබාදී තිබූ පිළිතුර හා සමානම පිළිතුරකි. එනම් ඊට අදාළ පෝරම පුරවා සති තුනක් ඇතුළත අදාළ ආයතනවලට ලබාදෙන ලෙසය. එමෙන්ම එම නිවාසවලට වන්දි ලබාදීමේදී අදාළ වන්දි මුදල පාර්ලිමේන්තුව මගින් අනුමත කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බවක් ආරංචිය.

මහින්ද ගැන අපි කියපු ‌දේ!

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානමින් ඇතැයි කියාය. අප කී කරුණ තහවුරු කරමින් පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරයා පළමු වතාවට තංගල්ලේ පන්සලකට ගොස් ආගමික වතාවත්වල නිරත වී ජනතාව මුණගැසීමට පියවර ගත්තේය. ඊට අමතරව අගමැති ධුරයෙන් ඉවත්වී පළමු වතාවට කළුතරට පැමිණ පොහොට්ටුවේ මහජන රැස්වීමකට සහභාගි වීමටද කටයුතු කළේය. අරගලයෙන් පසු මුලුගැන්වී සිටි පොහොට්ටුව පැවැත්වූ පළමු ප්‍රසිද්ධ රැස්වීම ලෙස වාර්තා වන්නේද මෙයය.

අද මහින්ද නාවලපිටියේ!

ඒ අනුව මහින්ද මෙම සති අන්තයේ නාවලපිටියේ පැවැත්වෙන දෙවැනි රැස්වීමට සහභාගි වීමටද සැලසුම් කොට තිබේ. එය සංවිධාන කොට ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසිනි.

රාජපක්ෂවරුන්ගේ මුහුණු හැලෙයි!

මේ අතර පසුගිය සතියේ පොහොට්ටු පක්ෂ කාර්යාලයේ තවත් අලුත් වෙනසක් සිදුකොට ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මාධ්‍ය සාකච්ඡා පවත්වන ස්ථානය පසුපස ඇති තිරයෙහි පළවන ඡායාරූපවල වෙනසක් සිදුකිරීම හරහාය. මෙතෙක් එහි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන තිදෙනාගේ මුහුණු සහ පොහොට්ටුව දැකගන්නට ලැබුණද පසුගිය සතියේ එය වෙනසකට ලක්කරමින් රාජපක්ෂවරුන් තිදෙනාගේම මුහුණු ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව එහි මේ වනවිට දැකගන්නට ඇත්තේ පොහොට්ටුවේ ලකුණ පමණි. එය ඉදිරියේදී සිදුවීමට නියමිත වෙනසක පෙරනිමිත්තක්දැයි කීමට තවම කල් වැඩිය.

අපි කල් තියා කරපු අනාවරණය!

‘අයි.එම්.එෆ්. ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා ලංකාව ගැන කතාකරන්න ඉන්දියාවට පැමිණෙද්දී දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතාද දූත කණ්ඩායමත් සමග නවදිල්ලියට පැමිණීමට නියමිතය. ලු මහතාගේ ආසියානු සංචාරයේ අරමුණ වී ඇත්තේ කලාපයේ ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක කරුණු පිළිබඳ ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමය. ලු මහතා මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝජියාවා මහත්මිය නවදිල්ලියේ සිටින කාලය ඇතුළතම නවදිල්ලියට පැමිණෙනවාද, එසේත් නැත්නම් ඊට පසුව පැමිණෙනවාද, රටවල් දෙකම එක්ව ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනවාද යන්න තවමත් පැහැදිලි නැත. නමුත් මේ සාකච්ඡාවලදී ලංකාව ප්‍රධාන මාතෘකාවක් වන බව නම් ඉතා පැහැදිලිය….’

ලූ 19 එනවා!

මේ පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ‘රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමු වරට අප අනාවරණ කළ කාරණයය. එහිදී අප වෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ඇමෙරිකානු නියෝජිත ඩොනල්ඩ් ලු ඉන්දියාවට පැමිණ ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බවය. මෙම සාකච්ඡාව අවසන් කොට ඩොනල්ඩ් ලු ඇමෙරිකාවට ගිය පසු වොෂින්ටනය එම සාකච්ඡාවල ප්‍රගතිය විමසා තවත් වැදගත් තීන්දුවක් ගැනීමට පියවර ගත්තේය. ඒ, ඉන්දීය සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ඩොනල්ඩ් ලු ලංකාවට එවීමටය. ඒ, ලබන 19 වැනි දිනය. ලු සමග තවත් ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට එවීමට වොෂින්ටනය තීන්දු කර ඇති බවත්, ඔවුන් පැමිණෙන්නේ ලංකාව සම්බන්ධයෙන් බරපතළ තීන්දු කිහිපයක් රැගෙන බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම කණ්ඩායම පැමිණෙන්නේද ලංකාව පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බවද දැනගන්නට ඇත.

තෙල් ගන්න බැරි වෙයිද?

මෙම සංචාරය අතරතුරදී ඇමෙරිකානු කණ්ඩායම යුක්රේන – රුසියා යුද්ධය මුල් කරගෙන ආසියානු කලාපය තුළ මතුව ඇති බලපෑමද සාකච්ඡා කිරීමට නියමිතය. එහිදී ඔවුන් අනුමාන කර ඇත්තේ එම යුද්ධය හේතුකොට ගෙන නොවැම්බර් අග සහ දෙසැම්බරය වන විට බරපතළ ආර්ථික අර්බුදයක් ආසියානු කලාපය තුළ නිර්මාණය වනු ඇති බවය. විශේෂයෙන්ම තෙල් බැරලය මේ කාලය වන විට ඇමෙරිකානු ඩොලර් 200 ඉක්මවා යනු ඇති බවත්, එවැනි තත්ත්වයක් යටතේ ලංකාවට ඉන්ධන ලබාගැනීම පවා ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. එවැනි තත්ත්වයක් මතුවුවහොත් මෙම කලාපය තුළ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද, එම ගැටලු පාලනය කරන්නේ කෙසේද, එවැනි කාල පරාසයක් තුළ ආසියානු රටවල් සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව රට ඇතුළේ මතුව ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයන් සමග සාකච්ඡා වටයක් පැවැත්වීමටද ඩොනල්ඩ් ලු ප්‍රමුඛ ඇමෙරිකානු කණ්ඩායම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සජිත් දඹානේ ගිය රහස් ගමන!

විපක්ෂ නායක සජිත් පසුගිය දින කිහිපයම ගත කළේ කොළඹින් පිටය. මහියංගනය, මහනුවර, අම්පාර වැනි ප්‍රදේශවල ඔහු බලමණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි විය. සජිත් සහ බිරිඳ ජලනි විසින් සංවිධාන කරනු ලැබූ කඨින පිංකම පැවැත් වුණේ මහියංගන රජමහා විහාරයේ බැවින්, ඒ කටයුතුවලට ද සහභාගි වීම පහසු වනු පිණිස සජිත් එම ප්‍රදේශයට ආසන්න කොට්ඨාසවල බලමණ්ඩල රැස්වීම් සංවිධාන කරන්නට සංවිධායකවරුන්ට උපදෙස් දී තිබිණි.

අහන්න ලැබුණේ දුක හිතෙන කතාවක්!

මේ ආකාරයට මහියංගනයේ කාලය ගතකරන අතරවාරයේ සජිත් තවත් විශේෂ ගමනක් ගියේය. කිසිවකුටත් නොදන්වා සජිත් එසේ ගියේ දඹානේ වෙසෙන වසන්ත මුදලිගේගේ මව සහ ඥාතීන්ගේ සුවදුක් විමසීමටය. වසන්තගේ මව වෙසෙන ඉසව්ව නොදන්නා නිසා සජිත් දඹානේ ඒ අවට සිටි පිරිස් වෙතින් ඒ පිළිබඳ විමසද්දී සජිත්ට දැනගන්නට ලැබුණේ කනගාටුදායක පුවතකි. ඒ, මුදලිගේගේ මව ඒ වන විටත් මහගෙදර අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවය. ඒ ප්‍රදේශය පිළිබඳ විපරම් කළද සජිත්ට ඇය සිටි ඉසව්වක් සොයාගත නොහැකි විය. වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එල්ල වූ විවිධ තර්ජන හේතුවෙන් වසන්තගේ මව මෙසේ නිවෙස අතහැර ගොස් ඇති බව සජිත්ට එහිදී දැනගන්නට හැකි විය.

වන්නිලඇත්තන්ට පොරොන්දුවක්!

පසුව සජිත් වැදි නායක වන්නිල ඇත්තන් මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී වන්නිල ඇත්තන්ද සජිත්ට කියා සිටියේ සිය ගම්වැසියා මෙන්ම ඥාතියාද වූ වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන්ටද මරණ තර්ජන එල්ලවී ඇතැයි කියාය. මේ ආකාරයට දීර්ඝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් පසුව සජිත් සහ වන්නිල ඇත්තන් අතර නිවෙසේ ඇතුළු කාමරයක තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී සජිත් වන්නිල ඇත්තන්ට දැනුම් දී සිටියේ වැදි ප්‍රජාවගේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැදි ජනතාවගේ නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තමන් තීරණය කර ඇති බවය. ඊට වන්නිල ඇත්තන්ගෙන්ද ප්‍රතිචාරයක් හිමි විය.

මහියංගනයේ නායක හාමුදුරුවෝ සජිත්ට කී දේ

සජිත් ප්‍රේමදාසගේ සහ ජලනි ප්‍රේමදාසගේ සම්පූර්ණ දායකත්වයෙන් මහියංගනය අටමහකුසල් කඨින පින්කම පැවැත්විණි. විශේෂෙන්ම ජලනි ප්‍රේමදාස ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙස වී කටයුතු කළාය.
‘මට විශාල සතුටක් දැනෙනවා අට මහා කුසල් කඨින පුණ්‍ය කර්මය කිසිම අඩුපාඩුවක් නැතිව, ඉතාම ඉහළින් ඉෂ්ට සිද්ධ කරන්න ඔබතුමන්ලාට පුළුවන්කම ලැබුණා. මේක මහා කුසල කර්මයක්. හැම දෙයක්ම අකුරට නූලට හොයලා බලලා ඉෂ්ට කළා. මේ තරම් වැඩ කන්දරාවක් තියෙද්දිත් විපක්ෂ නායකතුමා පුළුවන් හැම වෙලාවෙම ඒ ස්ථානයට පැමිණියා. ඇත්තටම රටකට අවශ්‍ය වෙන්නේ අවංකව වැඩකරන නායකයෝ….’ උන්වහන්සේ පැවසූහ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ලෝක කුසලානය අරඹමින් අද ලංකාවයි නැමීබියාවයි පිටියට බසී! ටොස් එක දිනපු දසුන් පන්දු රැකීම තෝරා ගනී!

Next Post

අධිකරණ ‌නියෝගත් ගණන් ගන්නේ නෑ! අති සුන්දර පානම ‘සීක්‍රට් පොයින්ට්’ එක අල්ලන්න හදන මේ ප්‍රබල ඇමැතිවරු කව්ද? (VIDEO)

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.