මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබලවී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය.Sri Lanka Latest News
‘අපිව වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයෙ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව’ ආදී කයිවාරු ගැසීම වැඩිවී තිබෙන්නේ ඇයි?
ඔවුන් මැයි රැලි, අප්‍රේල් සමරු, ඉල්මහ විරු සමරු ආදිය පවත්වන්නේ මූලික වශයෙන්ම ඔවුන්ගේ කාඩරයටය. තම කාඩරය රැස්කරවා ඔවුන්ට ඔවුන්වම පෙන්වා, ඔවුන්ගේ මොරාලය එසවීම සඳහා උද්වේගකර කතා පැවැත්වීම මෙම අභිචාරයයි.
මෙය හැට වසරක් තිස්සේ කළත්, ඔවුන්ට බලය නොලැබුණු අතර, දැන් බලය ලැබී ඇත. ඒ නිසා තත්ත්වය සංකීර්ණ වී තිබේ. බලය පිළිබඳ ඔවුන් නිර්මාණය කළ චිත්‍රය අසම්පූර්ණ එකක් බව ඔවුන්ට දැන් වැටහී තිබේ. බලය ලබාගත්තත්, එයින් කළ හැකි මහා ලොකු දෙයක් නැති බව දැන් දැන් ඔවුන්ට වැටහෙමින් තිබේ. බලය ගැනීමටත් වඩා බලය රැකගැනීම දුෂ්කරය.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප උගත යුතු වැදගත්ම පාඩම නම්, බලය යනු දැඩිව අල්ලා ගෙන සිටීමට උත්සාහ කරනවාට වඩා බෙදාගත යුතු, හුවමාරු කරගත යුතු දෙයක් බවයි. බලයට වඩා වැදගත් වන්නේ බලය මෙහෙයවා කරන්නේ කුමක්ද යන්නයි. කරන්නේ කවුරුද යන්නද එතරම් වැදගත් නැත.
බලය මෙහෙයවා ප්‍රතිසංස්කරණ සිදුකළ හැකිය. විප්ලවීය අවස්ථාවලදී විප්ලවීය ප්‍රතිසංස්කරණ සිදුකළ හැකිය. දූෂණයේද යෙදිය හැකිය. දූෂණය හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා බලය දිගුකර ගැනීම අවශ්‍ය වේ. එහෙත්, කිසිවෙකුට සදාකාලිකව බලයේ සිටින්නට ලැබී නැත. බලය ගිලිහෙන විට මිනිස්සු බලු වෙති. එබැවින් බලය ගන්නා විටම, එය ණයට ගත් පිරුවටයක් බව අවබෝධ කරගෙන සිටිනවා නම්, නැවත බලය ගැනීම පවා දුෂ්කර වන්නේ නැත.
මාලිමා ආණ්ඩුවේ බලයට ඔවුන් සිතන තරම් ලොකු අභියෝගයක් තිබුණේ නැත. ඔවුන්ට විධායක ජනාධිපති, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව, පළාත් පාලන බලයද හිමිවී ඇත. විපක්ෂය කියා තනි දෙයක් නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටින්නේ ඔවුන්ගේ ඔඩොක්කුවේය. අභියෝගාත්මක විපක්ෂය වන පොහොට්ටුවේ නායකයන්ට අපවාද රැසකි. රනිල් වික්‍රමසිංහ වයෝවෘද්ධය. රෝගාතුරය. ඉතින් මාලිමාව කලබල වන්නේ කුමටද? ඔවුන්ට තියෙන්නේ ඔවුන් දැන් මනාව හඳුනා ගනිමින් තිබෙන රටට ඉදිරියට යාමට දැනට ඇති එකම මාවත වන ධනේෂ්වර ක්‍රමය තිරසර කිරීමේ මාවත ඔස්සේ යාමය. එයට සමාජයෙන් හෝ විපක්ෂයෙන් ඇති අභියෝගයක්ද නැත. තක්කඩි වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවල අභියෝග ජවිපෙ ගණන් ගන්නේ කුමටද?
විපක්ෂ දේශපාලනය තෝරාගත් අප වැනි අය කොහොමත් ආණ්ඩුවට පහරදෙන එක දිගටම කරනවාය. දේශපාලනය එහෙම තමාය. මහජන මතය හසුරුවන එක සියුම් ක්‍රීඩාවකි.
මාලිමා ආණ්ඩුව වලිගය පාගාගෙන ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරවය. ඔවුන් මේ අන්දමින් සොරකම් හා දූෂණ නොකළ යුතුව තිබිණි. කන්ටේනර් 323, බාල ගල්අඟුරු වංචාව, ඩීසල් වංචාව හා අලුත්ම එක වන භාණ්ඩාගාර වංචාව වැනි දූෂණවල ඔවුන් පැටලුණේ ඇයිද යන්න තේරුම්ගත නොහැකි තත්ත්වයකි. ඒවා නො කර ඔවුන්ට යන්නට බැරිකමක් තිබුණේ නැත.
දූෂණවල ප්‍රතිඵල ලෙස දැන් ලේ හැලීම්ද සිදුවේ. එය බරපතළ තත්ත්වයකි.
මාලිමා ආණ්ඩුව අනවශ්‍ය කලබල ඇති කර නොගෙන ඉන්නවා නම්, ඔවුන්ට එතරම් ලොකු අභියෝග නැත. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවන තත්ත්ව මුළුමනින්ම ඔවුන්ගේ පාලනය තුළ සිදුවන ඒවා නොවේ. උදාහරණයක් ලෙස, ඉදිරි කාලයේදී උද්ධමනය, ඩොලරයේ රුපියල් වටිනාකම, ඉන්ධන මිල, විදුලි බිල, සියලු භාණ්ඩ හා සේවා මිල අධිවේගයෙන් ඉහළ යනු ඇත. පොහොර හිඟය විසින් ආහාර හිඟයක්ද නිර්මාණය කිරීමට ඉඩ ඇත. ආණ්ඩුව කළ යුතුව ඇත්තේ හොරකම්, වංචා සහ වහසිබස් කීම නොව, ඉදිරි තත්ත්වවලට ජනතාව සූදානම් කිරීමයි.
ඒ සඳහා ජනතාවට ඇත්ත කිව යුතුය. තිබෙන ඉන්ධන, පොහොර තොග පරිස්සම් කරගෙන පරිහරණය කළ යුතුය. තමන් මැජික්කාරයන් නොවන බව රටට කිව යුතුය. අප සැවොම එක්වී මෙම අභියෝගය ජයගත යුතු බව අවධාරණය කළ යුතුය. කාගේත් සහයෝගය ඒ සඳහා දිනාගත යුතුය. ඒ සඳහා මූලිකවම ජනාධිපති අනුර කුමාර දිසානායක මීට වඩා පරිණත අන්දමින් ක්‍රියා කළ යුතුය.
හොරකම්, දූෂණ, වංචා හා වෛරී දේශපාලනය නැවැත්විය යුතුය. එවිට ඔබට බලය රැකගැනීම දුෂ්කර වන්නේ නැත. අපට නම් ඔය බලය ඕනෑම නැත.
අජිත් පැරකුම් ජයසිංහ










