ජනාකීර්ණ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි තලංගම තෙත් බිම් උද්‍යානය ගැන තමයි පසුගිය සතියේදී අපි කැලෑ කොලමෙන් කතා කළේ. පසුගිය සතියේ කැලෑ කොලම කියවලා බොහෝ දෙනෙක් අපිට කතා කළා. ඒ අතරින් බොහොමයක් දෙනා මේ සුවිශේෂී භූමි ප්‍රදේශය අසල ජීවත්වෙන ජනතාව. ඒ වගේම පරිසරයට ආදරය කරන රටේ ඉහළ තනතුරු දරන කිහිප දෙනෙකුත් ඒ අතරේ හිටියා. කොළඹ නගරයේ පිහිටි මේ සුන්දර ප්‍රදේශයට නුදුරු අනාගතයේදී අත්වීමට නියමිත කනගාටුදායක ඉරණමක් ගැන තමයි ඒ හැම දෙනාම අපි එක්ක කිව්වේ.
ඔරුගොඩවත්ත නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ගය මේ තලංගම තෙත් බිම් කලාපය හරහා වැටී තිබීම තමයි ඒ කනගාටුදායක ආරංචිය. තලංගම තෙත් බිම් කලාපයට අයත් දෙවැනි වැව වන ඇවරිහේන වැව හරහා නව අධිවේගී මාර්ගය ඉදිකරන්න තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 17.3කින් යුතු මේ අධිවේගී මාර්ගය ඉදිකිරීම කොළඹ නගරයේ වාහන තදබදය නැති කිරීමට ප්‍රධාන හේතුවක් වන බව නොඅනුමානයි. නමුත් එම මාර්ගයේ කිලෝමීටර් 3.15ක දුරක් ඇවරිහේන වැව හරහා ගමන් කිරීම නම් පරිසරයට ආදරය කෙනෙකුට කොහෙත්ම අනුමත කරන්න බැහැ.
ඇවරිහේන වැව විනාශ වීම විතරක් නෙවෙයි තලංගම අවට පාරම්පරික කෙත්වතු රාශියකුත් මේ හේතුවෙන් සදහටම නැතිවී යාමට නියමිතයි. අපි පසුගිය සතියේදී කතා කළ විදියට තලංගම තෙත් බිම් කලාපය සැබවින්ම කොළඹ නගරයට ආභරණයක් බඳු තැනක්. කෝට්ටේ යුගයට නෑකම් කියන වාරිමාර්ග පද්ධතියත්, ඒ ආශ්‍රිතව බිහි වූ කෘෂිකාර්මික පරිසරයත් හින්දා අද වෙද්දි තලංගම තෙත් බිම් කලාපය මිනිසුන්ගේ පමණක් නෙවෙයි සතා සීපාවුන්ගේද සොඳුරු පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා.
තලංගම තෙත් බිම් කලාපයෙන් වාර්තා වී ඇති කුරුලු විශේෂ ගණන 90කට අධිකයි. සෑම දිනකම උදෑසන 6ත්, 9ත් අතර සහ සවස 4ත් 6.30ත් අතර කාලයේදී මේ ප්‍රදේශයේදී එක් දිනකදී අවම වශයෙන් කුරුලු විශේෂ 50ක්වත් දැක ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඊට අමතරව ක්ෂීරපායීන් 10ක්, මිරිදිය මත්ස්‍ය වර්ග 12ක් සහ උරග විශේෂ 12ක් මේ කලාපයෙන් වාර්තා වෙලා තියෙනවා. මෙහිදී දැක ගත හැකි දුර්ලභ පක්ෂි විශේෂ අතර දම් මැදි කිතලා, පොදු ගැලීනුවා, කර වැල් කොකා, අළු කොකා, මල් සේරුවා, හිස් කළු දෑකැත්තා, කුඩා ගෙබි තුරුවා, ආසියානු විවර තුඩුවා, බට ගොයා, රත් මුහුණැති කොට්ටෝරුවා, ඉන්දු දියකාවා, අබිකාවා, ගව කොකා, මහ සුදු කොකා, කහ බොර මැටි කොකා, කළු පිළි කොකා, රෑ කොකා, රත් කෑරලා, ලේ පිට මහා කෑරලා, පොලොස් කොට්ටෝරුවා, නිල් පෙඳ බිඟුහරයා වැනි පක්ෂීන්ට විශේෂ තැනක් හිමි වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති පිළිහුඩු වර්ග 5 අතරින් 4ක්ම මෙහිදී දැක ගත හැකි වීමත් විශේෂත්වයක්.
දේශීය කුරුල්ලන්ගේ පමණක් නෙවෙයි යුරෝපයට ශීත කාලය එළැඹීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙත් තෝතැන්නක් ලෙස තලංගම තෙත් බිම් කලාපය හඳුන්වන්න පුළුවන්. මෙහි සුවිශේෂීත්වය තවත් වැඩි කරමින් මෑත කාලයේදී ලංකාවේ මන්නාරම් ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී ඇති දුර්ලභ සංචාරක පක්ෂියකු වන සිළුතු දෑ තුඩුවෙකුද පසුගිය වසරේදී තලංගම තෙත් බිම් කලාපයෙන් වාර්තා වී තිබුණා. ඒ වගේම පහසුවෙන් දැක ගත නොහැකි දිය බල්ලන් මෙන්ම අතීතයේදී බහුල වූ නමුත් වර්තමානේදී දැකගත නොහැකි තිත්තයා, කණයා වැනි මත්ස්‍ය විශේෂ පවා මෙහිදී දැකගත හැකියි.

මීට දශක දෙක තුනකට කලින් ලංකාවේ සෑම කුඹුරු යායක් අබියසම විශාල ලෙස ජීවත් වූ තිත්තයා, කනයා වැනි මිරිදිය මත්ස්‍යයින් අද වෙද්දී දැකගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. නමුත් තවමත් තලංගම තෙත් බිම් කලාපය අවට කුඹුරු යාය අසල මේ මත්ස්‍යයින් සැරිසැරීම විශේෂ කාරණයක්. ලංකාවේ කෘෂි වගාව ආශ්‍රිත ජල මූලාශ්‍රවලට රසායන ද්‍රව්‍ය බහුලව එකතු වීම තමයි ඉහත සඳහන් මත්ස්‍යයන්ගේ විනාශයට හේතු වෙලා තියෙන්නේ. නමුත් තලංගම තෙත් බිම් කලාපයට අයත් වාරිමාර්ග පද්ධතිය වෙනත් කිසිදු ජල මූලාශ්‍රයකට සම්බන්ධ නොවීම මත එයට රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීමත් අඩු වෙලා තියෙනවා. එබැවින් අප කුඩා කල නිරන්තරයෙන් දුටු මේ මත්ස්‍ය විශේෂ අනාගත පරපුරට දැක බලා ගැනීමට අවස්ථාව ලබාදීමට නම් තලංගම තෙත් බිම් කලාපය වැනි පාරිසරික කලාප රැකබලා ගැනීම සිදුකළ යුතු වෙනවා.
යෝජිත අධිවේගී මාර්ගය ඇවරිහේන වැව මඟ හරිමින් තලංගම තෙත් බිම් කලාපයට හානි නොවන ආකාරයෙන් සිදුකළ හැකි බව තමයි ඒ අවට ප්‍රදේශවාසීන්ගේ අදහස වෙලා තියෙන්නේ. 2007 පාරිසරික ආඥා පනත යටතේ නීතිගත කළ මෙවැනි කලාපයක් විනාශ කිරීමට නීතිමය ඉඩකඩක් නොමැති බවත් එම ජනතාවගේ අදහස වෙලා තියෙනවා. ඒ වගේම මෙම අධිවේගී මාර්ගය සඳහා තවත් විකල්ප මාර්ග දෙකක්ද යෝජනා වී ඇති අතර එම විකල්ප යොදා ගතහොත් සිදුවන පරිසර හානිය ඉතා අවම බවත් ප්‍රදේශවාසීන්ගේ අදහස වෙලා තියෙනවා. නිතර අප කතා කරන තිරසාර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට නම් මෙවැනි පරිසර පද්ධති රැක ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව තමයි අපෙත් අදහස. ඒ වගේම අනාගතයේදී දියුණු වෙන කොළඹ නගරයේ සංචාරක ව්‍යාපාරයට මේ තලංගම තෙත් බිම් කලාපය සුවිශේෂී වටිනාකමක් එකතු කරනු ඇති බවත් කිව යුතුයි. විශේෂ පාරිසරික කලාපයක් වුවත් එහි කෘෂිකර්මාන්තය, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ස්වභාවික මංපෙත් ඉදිකිරීම, මත්ස්‍ය නිරීක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීම, තොරතුරු මධ්‍යස්ථාන ඉදිකිරීම සහ ආරක්ෂක කුටි ඉදිකිරීම වැනි කටයුතු සඳහා නියමිත නීති රාමු යටතේ ඉඩ ලබාදී තිබෙනවා. එබැවින් සංචාරක කලාපයක් ලෙස තලංගම තවදුරටත් දියුණු කිරීමේ ඉඩකඩ ඕනෑ තරම් පවතින බවත් සඳහන් කළ යුතුයි. නමුත් මෙම අධිවේගී මාර්ගය මේ හරහා ඉදිවුවහොත් ඒ සියල්ල වෙනස් වනු ඇති. වර්තමානයේ ශබ්ද දූෂණය සහ වායු දූෂණය ඉතා අවම වූ මේ ප්‍රදේශය හරහා අධිවේගී මාර්ගයක් ගමන් කළහොත් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන බවත් ඕනෑම කෙනකුට තේරුම් ගන්න පුළුවන් කාරණයක්.
කොහොම වුණත් යෝජිත අධිවේගී මාර්ගය ඇවරිහේන වැව මඟ හැර ඉදිකරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කිරීමට පවා මේ වන විට ඒ අවට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. එම ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත් එම ජනතාවගේ දැඩි විශ්වාසය වෙලා තියෙනවා. දැන ගන්න ලැබෙන විදියට මේ ව්‍යාපෘතිය සඳහා තවමත් පරිසර අමාත්‍යාංශය අවසර ලබා දීල නැහැ. ඒ හින්දා අපට තවමත් සුබවාදී බලාපොරොත්තු රඳවා ගන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙලා අනාගත පරපුරටත්, අගනගරයේ මේ සොඳුරු ඉසව්ව දැක බලා ගැනීමට අවස්ථා ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.
සමන් හල්ලොලුව










