අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල යළි ඒකාබද්ධ වූ ආකාරයත්, ඒ හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමේ සටන ආරම්භ කළ ආකාරයත් අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ එම මෙහෙයුමේ පළමු රැස්වීම මොනරාගලින් පැවැත්වීමට තීරණය කළ බවත්, එහි සංවිධාන කටයුතු රාජපක්ෂ පවුලේම ප්‍රමුඛ නියෝජිතයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත භාරදී ඇති බවත්ය. කෙසේවෙතත් බැසිල් ශෂීන්ද්‍ර වෙත මෙම රැස්වීම සංවිධාන කිරීමේ වගකීම භාරදුන්නේ ආවාට ගියාට නොව, ඒ පිළිබඳ හොඳින් කිරා මැන බලා කළ තේරීමකට අනුවය. බැසිල්ගේ ගණන් බැලීමට අනුව රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස අභිෂේක ගැන්වීමට තීන්දු කොට ඇත්තේ වෙන කවුරුවත් නොව ශෂීන්ද්‍ර රාජපක්ෂය. මහින්දගෙන් කෙසේ වෙතත් ඊට ශිරන්තිගේ සහ නාමල්ගේ වැඩි කැමැත්තක් නොමැති බව දැනටමත් ප්‍රකාශ වී ඇති කරුණකි. ශිරන්තිගේ ඉලක්කය වී ඇත්තේ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස නාමල් අභිෂේක ගැන්වීමය.

කෙසේ වෙතත් තමන්ට භාරදුන් මෙහෙයුම තිතටම අවසන් කරමින් ශෂීන්ද්‍ර පසුගිය සතියේදී මහින්දව යළි අගමැති කිරීමේ සටන අරඹමින් මොනරාගල රැලිය සඳහා විශාල ජනකායක් ගෙන්වීමට පියවර ගෙන තිබිණි. ඇත්ත වශයෙන්ම මොනරාගල රැලිය මෑත කාලයේදී පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි පොහොට්ටුවේ සාර්ථක වූ එකම රැස්වීම විය. කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනෙනම සිදුවීම වූයේ මහින්ද ඊට පැමිණියද නාමල් ඊට සහභාගි නොවී තිබීමය. ඒ අනුව නැවත වටයකින් රාජපක්ෂ පවුල ඇතුළේ ඇති අර්බුදය මොනරාගල රැලිය හරහා එළියට පැමිණ ඇති ආකාරයක් දැකගත හැකි විය.

මේ අතර පසුගිය කාලය පුරාම අයාලේ ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යළිත් එක මිටකට ගැනීමේ මෙහෙයුමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව මහින්ද සැලසුම් කර ඇත්තේ මින් ඉදිරියට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිය නිල නිවෙස වූ විජේරාමේ පිහිටි නිවෙසේ පැවැත්වීමටය. පසුගිය කාලයේදී කෝටි ගණනක් වැයකර මෙම නිවෙස අලුත්වැඩියා කෙරුණු අතර, මන්ත්‍රීවරුන් විශාල පිරිසකට සහභාගි විය හැකි පරිදි අලුත්ම ශාලාවක්ද එහි ඉදිකොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මහින්ද මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ අලුතෙන් ඉදිකළ ශාලාවේය. මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ලෙස 95 දෙනකු පාර්ලිමේන්තුවේ සිටියද ඉන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා සමග කටයුතු කරන නිසා තවත් සැලකිය යුතු ප්‍රමාණයක් එහාමෙහා විය හැකි බව රාජපක්ෂවරුන්ගේ ගණන් හැදීම වී තිබේ. කෙසේ වෙතත් මේ සියලු දෙනාම එකතු කොට ගෙන ලබන මැයි, ජුනි මාස වන විට පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම රාජපක්ෂවරුන්ගේ අරමුණ වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

Exit mobile version