මහජන බැංකුව ස්ථාපිත කර ජූලි 01 වැනි දිනට හැටඑක් වසරක් සැපිරුණු අතර, මේ වෙනුවෙන් චාම් සංවත්සර සැමරුමක් කොළඹ 02, ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරු කාර්ය මණ්ඩලය ඇමතීය.
මෙහිදී රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලු නායකයන්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශීර්වාද පතා සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදී.
ඒ අනුව ආශීර්වාදාත්මක පිරිත් දේශනය ප්‍රධාන කාර්යාලයේදී සහ සපිරිකර දානමය පින්කම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී එහි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. එමෙන්ම බම්බලපිටිය කොවිලේ ශ්‍රී නිවාස කුරුකල් පූජකතුමා හින්දු දේව පූජාවද, කොළඹ දවටගහ ජුම්මා ඉස්ලාම් දේවස්ථානයේ දේශබන්දු අල්හාජ් ෆයිසාල් හසන් මවුලවි පූජකතුමා ඉස්ලාම් දේව මෙහෙයද, පිටකොටුව ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේ ඇන්ටන් රෝහිත පියතුමා කතෝලික දේව මෙහෙයද සිදුකරන ලදී.
මෙම මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය, වෘත්තිය සමිති නියෝජිතයන් හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි වූහ.











