■ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි
■ පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි
■ දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146කින් වර්ධනය වෙයි
■ Tier I ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36% කි
■ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 218.5% කි
හැටන් නැෂනල් බැංකුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 12.4ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 10.5ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මේ අතර අදාළ කාලසීමාව සඳහා HNB සමූහය රුපියල් බිලියන 11.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
බැංකුවේ පොලී ආදායම 86%කින් වර්ධනය වී රුපියල් බිලියන 134.9ක් වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප්‍රතිශතාංක 12කට වඩා වැඩි අගයකින් ඉහළ යාමයි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය දක්වා වූ පළමු මාස නවය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 100%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 71.1ක් බවට පත්ව තිබේ.
2021 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළෙඳ කටයුතුවලින් සහ කාඩ්පත්වලින් ලැබූ ඉහළ ආදායම හේතුවෙන් ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 11.0ක එනම් 65%ක විශාල වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මීට අමතරව, එම කාලපරිච්ඡේදය තුළ 80%කට වඩා වැඩි අගයකින් රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 16.8ක සුවිශේෂ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි විය.