අපට පෙනෙන්නට ඇති සුන්දරත්වය තුළ දුෂ්කරතාවන් අපමණ බව ඔබ සැම අත්දැක ඇති කරුණක් විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නැග්රැක් ගම්මානය යනු මුහුදු මට්ටමින් අඩි හත් දහසක පමණ උසකින් පිහිටා ඇති සබරගමුව පළාතේ වැඩිම උසකින් පිහිටා ඇති මනරම් ගම්මානයකි. හාත්පස මීදුමෙන් වැසී ගිය හරිතවන් පරිසරයකින් හෙබි කඳුකර ගම්මානයක් වන මෙය, සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගනු ලබන්නේ එම පරිසරය විසින් මොහොතින් මොහොත මවන්නාවූ චමත්කාර ජනක දසුන් හේතුවෙනි.
නමුත් මෙම සුන්දරත්වය තුළ ඛේදනීය ජීවිතයන් සිය ගණනක් ඇති බව ඔබට එම දසුන් නැරඹීමෙන් නොවැටහෙනු ඇත. ඉතා දුෂ්කර මෙන්ම අවදානම් සහිත මාර්ගයක් ඔස්සේ ඩයලොග් මනුසත්කාර කණ්ඩායම මෙම ගම්වැසියන් බැලීමට පැමිණියේ ඔවුන්ගේ දහසක් වූ දුෂ්කරතාවයන් වලින් ප්‍රමුඛතම ගැටලුවකට කිසියම් හෝ උපකාරයක් කිරීමේ පරම අපේක්ෂාවෙනි.
මෙවැනි තත්ත්වයක් තුළ ඩයලොග් සිය හයවන මනුසත්කාර මෙහෙයුම කිසිවකුගේ ඇස නොගැටුණු, සමස්ත සමාජයෙන්ම සැඟවී සිටි මෙම ගම්මාන වෙත පැමිණියේ, සිය ශක්තිය තුළින් ඔවුන්ගේ ජීවිත වෙත අරුණාලෝකයක් පතිත කරවීමේ අධිෂ්ඨානයෙනි. එනමුත් එය එතරම් පහසු කාර්යයක් නොවූයේ පරිසරය ඒ තරමටම බාධකයක් වූ බැවිනි. නමුත් අධිෂ්ඨානය චණ්ඩ සුළඟට එරෙහිව අභීතව නැඟී සිටිනා පවුර මෙන් දැඩි වූ බැවිනි. ඉතා දුෂ්කර මාර්ග බාධක සහ කඳු හෙල් ජයගනිමින් මහා සුළඟට එරෙහිව විසල් කළුගල් පවුර මුළු ගමටම ආරක්ෂාවක් දෙමින් ගොඩනැගුණේ ඩයලොග් සාමාජිකයන්ගේ ශක්තිය සහ කැපවීම තුළින් ජනතාව තුළ නව ජීවන අපේක්ෂාවක් මෝදු කරවමිනි.











