“අපගේ විහාරස්ථානයේ ගොදුරු ගම්මානයක් වන කොකුන්නෑව ගමේ සියලු දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය විදියට ගොවිතැන පෙන්වා දෙන්න පුළුවන්. ගොවිතැනින් මේ ගමේ ජනතාව ස්වයංපෝෂිත වුණොත් තමයි ගමේ විහාරස්ථානය ආරක්ෂා වෙන්නේ. ස්වාමීන් වහන්සේලා රැකෙන්නේ. එහෙම වුණොත් තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මේ කොකුන්නෑව කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය සඳහා සම්පත් බැංකුවේ දායකත්වය ලබා දීම ඉතා උතුම් සද්කාර්යයක් ලෙස අගය කළ යුතුයි.
මේ කින්දගල්ල වැවට ජීවයක් ලැබීම පිළිබඳ කොකුන්නෑව පුරාණ විහාරයේ විහාරාධිපති හා කොකුන්නෑව මූලික පිරිවෙනෙහි පරිවේණාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත කින්දගල්ලේ ගුණාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අදහස්ය.
සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ජීවය ලබන 8 වන වැව ලෙස බිබිල කොකුන්නෑව කින්දගල්ල වැව සඳහන් කළ හැකිය. ඓතිහාසික වෙල්ලස්ස පුරවරයේ සුවහසක් ගොවි ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් වන කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණ කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමකි.
විශේෂයෙන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගත් කොකුන්නෑව කින්දගල්ල ගම්වාසීන් ඒ වෙනුවෙන් වන දියවර සපයාගනු ලැබුවේ කින්දගල්ල වැවෙන් වුවත් අවුරුදු ගණනාවක් තිස්සේ වැව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ගොවිතැනට අවශ්‍ය දියවර සැපයීමට තරම් ශක්තියක් කින්දගල්ල වැවට නොතිබිණි. එහෙයින් ඒ ශක්තිය නැවත ලබා දෙන්නට සම්පත් බැංකුව එක් වූයේ ගොවි ජනතාවට පැහැබර අනාගතයක් උරුම කර දීමේ අදිටනින් යුතුවය.











