මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් පාර්ලිමේන්තු මුදල් කමිටුවේ ලේකම් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළි නොගත් බවත්, සතියක් ඇතුළත ඔවුන්ද මේ පිළිබඳ වාර්තාවක් මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.Sri Lanka Latest News
මහ බැංකුවයි, භාණ්ඩාගාරයයි, ලේකම්, අධිපතිතුමා ඇතුළු සියලු නිලධාරීන් අපේ කමිටුවට වාර්තා කළා. ඔවුන් ඉදිරිපත් කරපු ඒ වාර්තාව අපි ඔවුන් සමග සාකච්ඡා කළා. සාකච්ඡා කළාම ඒකෙ තවත් ගැටලු රාශියක් මතුවුණා.
එතැනදී මෙයට වගකිය යුතු පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳ මත දෙකක් ඉදිරිපත් වුණා. එකක් තමයි මහ බැංකුව සෑහෙන වගකීමක් මෙහි දැරිය යුතුයි කියන කාරණාව වාර්තාවේ තිබුණා. මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වෙන මතයක් දරන බව අපට ඉදිරිපත් කළා. ඔවුන්ට වාර්තාව ලැබිලා නැතුව තිබිච්ච නිසා අද ඔවුන්ට අපි ඒ වාර්තාව දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිළිතුරු වාර්තාවක් තව සතියකින් ලබාදෙන්න ඔවුන් අපට පොරොන්දු වුණා.
ඉතින් ඒ නිසා තව සතියකින් අපිට වාර්තාව ලැබුණාම එන සතියේ අපිට නැවතත් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ වාර්තා දෙක අතර යම් යම් පරස්පරයන් තියෙනවද, ඒ පරස්පරයන් කොහොමද අපි නිරාකරණය කරගන්නෙ කියලා. නමුත් එක දෙයක් මෙතන පැහැදිලි වෙනවා. ඒ තමයි මේ ක්‍රියාපටිපාටි පිළිබඳ විශාල ගැටලුවක් මතුවෙලා තියෙනවා.
මම දීර්ඝව මේක ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම සරලව කියන්නම්, දැනගත්තාම අවුලක් වෙලා තියෙනවා කියලා, මේක Anti-money laundering issue එකක් වෙයිදෝ කියන සැකය නිසා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. නමුත් ඒ දැනුම් දුන්නාම ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ තමයි මේ ගැටලුව මතුවෙලා තියෙන්නෙ. මේක ඔවුන්ගෙ ඉහළ නිලධාරීන් දැනුවත් කළාද නැද්ද, දැනුවත් කළේ නැත්නම් ඇයි දැනුවත් කළේ නැත්තේ කියන එක පිළිබඳ ඔවුන් අපට කිව්වා සී.අයි.ඩී. එකෙන් පොලිසියෙන් ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කරනවා, Forensic Audit කරනවා කියලා.
නමුත් සිස්ටම් එකක් තිබුණා නම්, Standard Operating Procedure එකක් තිබුණා නම්, guideline එකක් තිබුණා නම් එතකොට කවුරුත් දන්නවා කාටද වගකීම තියෙන්නෙ කියලා. එතකොට මේක ඒ පැත්තෙන් මේ පැත්තට තල්ලු කරන්නත් මේ පැත්තෙන් ඒ පැත්තට තල්ලු කරන්නත් හැකියාවක් නැහැ. ඉතින් processes ගැන ගැටලු කීපයක්ම මතු වුණා.
අනිත් එක තමයි මේ ඊමේල් exchange එක, ඒ කියන්නේ මේ ඊමේල් හරහා වෙච්ච ගනුදෙනුවලින් තමයි මේ වැඩේ වෙලා තියෙන්නෙ. ඒක කල්ගිය ඊමේල් සර්වර් එකක් කියලා. කල්ගිය ඊමේල් සර්වර් එකක් අවුරුදු පහක් තිස්සේ මට පේන්නේ දැන් පාවිච්චි කරලා තියෙනවා. 2023 ඉඳලා CERT ආයතනය විසින් ඔවුන්ට ඉදිරිපත් කරලා තියෙනවා මේක අප්ඩේට් කරන්න ඕනේ, අලුත් එකක් ගන්න ඕනේ කියලා. නමුත් එදා ඉඳලා 24, 25 දැන් 26 තාම ඒ දේ කරලා නැහැ. ඉතින් මේ cyber security මෙච්චර තියෙන අවස්ථාවකදී කොහොමද ප්‍රධානම රජයේ ආයතනය මේ කිසිම support එකක් නැති ඊමේල් සර්වර් එකක් පාවිච්චි කරන්නෙ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් මතුවුණා.
අපි කමිටුවක් හැටියට ගැඹුරින් මේක සාකච්ඡා කළා. ඊළඟට මහා බැංකුවේ පිළිතුරු වාර්තාව ලැබුණාම අපේ කණ්ඩායම මේ සම්බන්ධයෙන් අපේ කමිටු වාර්තාවත්, අද ඉදිරිපත් කරලා තියෙන වාර්තාවත් සහ මහ බැංකුවෙන් එවන වාර්තාවත් මේ තුනම දින කිහිපයකින් ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා.
කොහොම හරි වංචාවක් වෙලා තියෙනවා කියලා ගම්‍ය වෙනවද?
මේකේ මහා විශාල හොරකමක් වෙලා තියෙනවා කියලා මම opening statement එකේම කිව්වා. කවුරුත් හොරකමක් වෙලා නැහැ කියලා තර්ක කළේ නැහැ. හොරකමක් වෙලා තියෙනවා. අවසානයේදී ඇහුවා කවුද මේ සල්ලි ගෙවන්නේ? ජනතාවට තමයි ගෙවන්න වෙන්නේ, අර ඩොලර් මිලියන 2.5ක්. එතකොට මේ හොරකම කවුද කළේ කියන එක පිළිබඳ, එක තැනකදී ලේකම්තුමා කිව්වා මේක මොනයම් හෝ හේතුවක් නිසා මේක උඩට වාර්තා වෙලා නැහැ කියලා. ඉතින් මොනයම් හෝ හේතුවක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අපි දීර්ඝව සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අපි තව අතුරු වාර්තා හතරක් ඉල්ලලා තියෙනවා. ඒ එක්කම ඉදිරියේදී අපේ ප්‍රතිපත්ති පැත්තෙන් අපේ යෝජනා ඉදිරිපත් කරයි, නිර්දේශ ඉදිරිපත් කරයි. පොලිසිය මේ සම්බන්ධයෙන් හොයලා ඔවුන්ගේ පැත්තෙන් ඒ අපරාධ පරීක්ෂණය සම්බන්ධ කටයුතු පිළිබඳ ඒගොල්ලෝ තීරණය කරයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, මහ බැංකු අධිපතිතුමා මුදල් කාරකසභාවට උදව් කරනවා කියලා පේනවද මේ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනියන්න?
මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉදිරිපත් කළා වාර්තාවක්. ඒකට පිළිතුරු වාර්තාවක් මහ බැංකුවේ අධිපතිතුමාට ඉදිරිපත් කරන්න ඕනේ කියලා කිව්වා. ඒකට අපි ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. මහබැංකු අධිපතිතුමා ඔවුන්ගේ ස්ථාවරය එක පැහැදිලිව ඉදිරිපත් කළා. ඔවුන් පිළිගන්න සූදානම් නැහැ සමහර දේවල් මේ වාර්තාවේ තියෙන. ඉතින් ඒ නිසා ඔවුන්ගේ පිළිතුර අපි බලාපොරොත්තු වෙනවා, ඊට පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන්.
දැන් ජනතාවටද මේ මුදල අන්තිමට ගෙවන්න වෙන්නේ?
ලේකම්තුමාගෙන් මම ඒ ප්‍රශ්නය ඇහුවාම කිව්වා මේ සල්ලි හොයාගන්න පුළුවන් වුණොත් ඒ ටික ගෙවන්න පුළුවන්, නැත්නම් ඉතුරු ටික ජනතාවගෙන් තමයි කියලා. මේ සල්ලි ආයෙත් හොයාගන්න හැකියාවක් නැහැ. ජනතාවට තමයි ගෙවන්න වෙන්නේ. ඩොලර් මිලියන දෙකහමාරක් අයවැයේදී අලුතින් සංශෝධනයක් දාලා ගෙවන්න වෙයි.










