එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශය වන එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් කොළඹ සිට මගී ගුවන් සේවා අත්හිටුවා තිබෙන කාලය වුවද අප්‍රේල් මාසයේ අවසාන සති දෙකෙදී ශ්‍රී ලංකාව සිට යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළෙඳපොළවල් වෙත ටොන් 100ක පමණ දේශීය නිෂ්පාදන ප්‍රවාහනය කරමින් මෙම අසීරු අවස්ථාවේදී සැපයුම් දාමය පවත්වා ගනිමින් ආදායම් රැස්කර ගැනීමට දේශීය අපනයනකරුවන්ට සහයෝගය දක්වා තිබේ.
මේ අනුව, සමාගම විසින් මෙම නිෂ්පාදන කලට වේලාවට උපරිම ගුණාත්මක තත්ත්වයෙන් මෙම වෙළෙඳපොළවල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බොයින්ග් 777-300 මගී ගුවන් යානා දෙකක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ලෙස යොදාගෙන ඇත.
එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් අප්‍රේල් 15 වැනිදා සහ 27 වනදා කොළඹ සිට ප්‍රවාහනය කළ භාණ්ඩ අතරට මාළු, පලතුරු, එළවළු සහ බුලත් කොළ ඇතුළු භාණ්ඩ ඇතුළත් වූ අතර මෙම අපනයන භාණ්ඩ සූරික්, පැරිසිය, ෆ්‍රැන්ක්ෆර්ට්, ලන්ඩන්, බ්‍රසල්ස්, ඩුබායි, කරච්චිය සහ ලාහෝරය යන වෙළෙඳපොළවල් වෙත ප්‍රවාහනය කළ බව සමාගම සඳහන් කරයි.











