Uber Eats සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. Uber Eats යනු ජංගම දුරකතන යෙදුමක් (App) භාවිත කරමින් පාරිභෝගිකයන්ට ආහාරපාන ඇණවුම් කර ගෙන්වාගැනීමේ පහසුකම සලසන සේවාවකි. මේ වන විට එම සේවාව මෙරට තුළ ඇණවුම් මිලියන 3කට අධික සංඛ්‍යාවක් සඳහා ආහාරපාන සපයා ඇති අතර, මෙම ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වීමටද සමත් වී සිටී. 2018 වසරේ කොළඹ නගරයේදී Uber Eats ආරම්භ වූයේ ජනතාවට ඉතාමත් පහසුවෙන් ආහාරපාන අවශ්‍යතා සපුරාගැනීමේ මගක් පිරිනැමීමේ අරමුණෙනි. ආරම්භයේදී Uber Eats මගින් ආහාරපාන වර්ග 34ක් අතරින් කැමති වර්ග තෝරාගැනීමේ අවස්ථාව සලසා දෙන ලදී. මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ ප්‍රධාන නගර දෙකකදීම මෙම සේවාව දියත් කිරීමට හැකි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Uber Eats ප්‍රධානී භාවනා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවාය. “මේ ආකාරයට අතිසාර්ථක ගමනකින් අනතුරුව ප්‍රථම සංවත්සරය සැමරීමට ලැබීමට අපට විශාල සතුටක්. මෙය පාරිභෝගිකයන්ගේ එදිනෙදා ආහාරපාන අවශ්‍යතා සපුරාලන අතරම අපගේ හවුල්කරුවන්ගේ දියුණුවට අත්වැලක් වීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. මේ ගමනේ අප සමග එක්වී සිටින ආපන ශාලා, බෙදාහැරීම් සේවා හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඉදිරියටත් ඔවුන්ගේ නොවෙනස් සහයෝගය අප වෙත ලැබෙනු ඇති බවට සැකයක් නැහැ.”