2020 දී කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදෙමින් ලංකා බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කාර්ය මණ්ඩලය මෙහෙයවීම සහ අඛණ්ඩව සේවා සැපයීම සඳහා මානව සම්පත් සැලසුම්වලට අනුකූලව ආයතනික පරිසරයක් සහතික කිරීමට බැංකුව සමත් වී තිබේ. වසංගතයේ මුල් අදියරේදීම සකස් කළ නිවැරදි සැලසුම්වලට අනුව වඩාත් ඵලදායි හා කාර්යක්ෂම ඉදිරි ගමනක් උදෙසා සියලු සේවකයන් රාජකාරි කටයුතු සඳහා විශේෂ ක්‍රමවේදයක් හරහා සැලසුම් සහගතව සම්බන්ධ කර ගැනුණි. මෙය ලංකා බැංකුවේ මානව සම්පත් කළමනාකරණය සහ මෙහෙයුම් දර්ශනය තුළින් එළි දැක්වුණු නව එළිදැක්මක් ලෙසද හඳුන්වා දිය හැකිය.
පෙර නොවූ අත්දැකීමක් වූ මෙවන් ජාත්‍යන්තර වසංගත තත්ත්වයක් හමුවේ 8000ක් පමණ වන සේවක සංඛ්‍යාවක් හැසිරවීම සුළුපටු කාර්යයක් නොවේ. පොදුවේ සියලු සේවාවන් අකර්මණ්‍ය වෙමින් පවතින මොහොතක සේවකයන්ගේ ආත්ම විශ්වාසය රඳවා තබා ගනිමින් බැංකු කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය තීරණ ගැනීම සඳහා සෑම තරාතිරමකම කළමනාකරුවන් සහ අනිකුත් සේවකයන් නිසි පරිදි මෙහෙයවීම සූක්ෂමව සංවිධානය කෙරිණි.
මෙහිදී ලංකා බැංකුව ද්වි-ස්තර උපාය මාර්ගයක් අනුගමනය කරනු ලැබීය. පළමුව සෞඛ්‍ය අංශයන්හි නිර්දේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙවනුව ආරක්ෂක විධි විධානයන්ට අනුව ව්‍යාපාර පවත්වාගෙන යාම වේ. 8000ක සේවක සංඛ්‍යාවකගේ සේවය නිවැරදිව ලබා ගැනීම සඳහා රාජකාරි කාලසටහන් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ආරක්ෂිත ප්‍රවාහන පහසුකම්ද නොමිලේ සැපයූවේ සේවක නිරෝධායනය සහ PCR පරීක්ෂණ වියදම් බැංකුව මගින් අඛණ්ඩව දරමිනි.











