පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීමේ කටයුතු සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
“සහරාන් පළමුව සිදුකළේ 2017 වර්ෂයේ අලියාර් ප්‍රදේශයේදී. ඒ විරුද්ධ ආගමික මතවාදයක් දරන පිරිසකට ප්‍රහාරයක් එල්ල කරමින්. එම ප්‍රහාරයෙන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ තැන දක්වා ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පිරිස් සහ සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනය සිදුකළා. එහිදී සොයා ගත්තා වසර ගණනාවක් කටාර් රාජයේ සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන සමග සම්බන්ධයි කියලා. ISIS නායක අබු බකර් අල් – බැග්ඩාඩි ගේ මතවාදය සමග සහරාන්ව සම්බන්ධ කලේ මේ නවුෆර් කියලා හෙළිවෙලා තියෙනවා. ඒ නවුෆර් කියන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ සිටිනවා” යනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 500ක මුදලක් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයින් විසින් ලබාදී ඇති බවත් එම මුදල් මගින් ඔවුන් විසින් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේය.










