ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලය වන ලංකා සතොස සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව දියත් කරන ලද ‘සතොස ඉඩම් නිධානය’ ප්‍රවර්ධන වැඩසටහනෙහි 3 වැනි අදියරේ ජයග්‍රාහකයන් හට පසුගියදා ත්‍යාග හිමිකර දෙන ලදී. එහිදී කොළඹට නුදුරින් වටිනා ඉඩම් 3ක් දිනා ගැනීමට වාසනාවන්තයන් තිදෙනෙක් සමත් වූ අතර ඊට අමතරව තවත් ජයග්‍රාහකයන් 35 දෙනෙකු රුපියල් මිලියනයක් වටිනා රන් කාසි දිනාගන්නා ලදී.
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා, අමාත්‍යංශ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග මහත්මිය, ලංකා සතොස සභාපති සහ යුනිලීවර් ශ්‍රී ලංකා ආයතන සභාපති ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.