නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්ත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.
මෙම ප්‍රමිතිකරණය ලබා ගැනීම ක්‍රියාවලිය දැඩි පිරික්සුම් මැද සිදු වූ අතර රෝහලේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීමද මාස ගණනක් පුරා සිදු කෙරිණි. මේ සඳහා ආයතනයේ විශේෂඥ සමීක්ෂණ නිලධාරීන් අවස්ථා ගණනාවකදී නිර්ණායකයන් ගණනාවක් යටතේ රෝහල නිරීක්ෂණය කළ අතර රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ඉලක්ක, රෝගීන් ඇගයීම සහ රැකබලා ගැනීම, නිර්වින්දනය සහ ශල්‍ය සුවතාව, ප්‍රතිකාර කළමනාකරණය, රෝගීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම්වත් කිරීම, තත්ත්වය වැඩිදියුණු කිරීම, ආසාදනයන් වැළැක්වීම සහ පාලනය, යහපිළිවෙත් සහ නායකත්වය, පහසුකම් කළමනාකරණය, සේවකයින්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් සහ තොරතුරු කළමනාකරණය සලකා ලැබෙන ඇතැම් නිර්ණායකයන් වෙයි.










