සිංගප්පූරුවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු ජනතාව වෙත සිදු කළ ධානාත්මක සහ අමිල වූ දායකත්වය වෙනුවෙන් එරට කීර්තිමත් මහජන සේවා තරු සම්මානයෙන් පිදුම් ලැබීය. සිංගප්පූරුවේ ජනාධිපතිනි ගරු හලීමා යාකුබ් මහත්මිය විසින් අප්‍රේල් 4වන දිනට යෙදුණු එරට ජාතික දින සම්මාන උළෙලේදී මෙම සම්මානය ප්‍රදානය කරනු ලැබුවාය.
“ජීවිතකාලයට එක් වරක් පමණක් දිනාගත හැකි මෙම සම්මානය ලැබීම පිළිබඳ මම නිහතමානීව සතුටු වන අතර සිංගප්පූරු ජනතාව වෙත මගේ සේවය ලබා දීමට හැකි වීම මා ලද භාග්‍යක් කොට සලකනවා. වසර 50 කට අධික කාලයක් පුරා ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් ඉතා සාධනීය මිතුදමක් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අඳුරු කාලසීමාවන් තුළදී සිංගප්පූරුව දැක්වූ දායකත්වය වඩාත් හෘදයාංගම ලෙස සිහිපත් කරන අතරම ඉදිරියේදීත් ශ්‍රී ලංකා සිංගප්පූරු මිතුදම වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා සහ නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.











