කෙනකුගෙන් තවත් කෙනකුට ඇත්තේ එකිනෙකට වෙනස් වූ බලාපොරොත්තු සහ සිහිනය. ඒ අතරින් බහුතරයක් සිහින සැබෑකර ගැනීම පහසු නොවන බවද පෙනී යයි. එහෙත් ඇතැම් සිහින බලාපොරොත්තු නොසිතූ නොපැතූ අවස්ථාවල සැබෑවනු දැකිය හැකිය. මේ සියල්ලම හේතු කාරණා වන ඇසට නොපෙනෙන බලවේග වෙයි. ඒවා ග්‍රහයෝග ලෙස හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව ග්‍රහයෝග පන්දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට ගණනය කර තිබේ. එවැනි සුබ ග්‍රහයෝග පිහිටීම හේතුවෙන් ජන්මීන්ට සුවිශේෂී ලැබීම් ගෙන දෙන අතර, පුද්ගලයා බලවතකු, බුද්ධිමතකු කිරීමටද ග්‍රහයෝග ඉවහල් වෙයි.
ඉහත සඳහන් කළ ආකාරයට පන්දහසකට අධික ග්‍රහයෝග අතරින් රාජ යෝග පමණක් හැත්තෑ තුනක් ඇති බව අනාවරණ වෙයි. එම යෝග බහුතරයක් පුද්ගලයාව ඉහළම තනතුරු වෙත රැගෙන යන අතර, ඒ හරහා දේශපාලනයේ ප්‍රබල චරිත බිහිවන බවද හඳුනාගත හැකිය. කෙසේ නමුත් වර්තමානයේ විශාල පිරිසක් උනන්දු වන්නේ පළාත්, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව ආදී පාලන තන්ත්‍රයන්ගේ මැති ඇමැති ධුර ලබාගැනීම උදෙසාය. එම සිහින සැබෑ කරගන්නට ඉහත සඳහන් යෝගද ඉතාමත් ඉහළ දායකත්වයක් සපයන බව සඳහන් කළ යුතුය.
එම යෝග අතරින් කුලදීපක නමැති යෝගය අති ප්‍රබල යෝගයක් සේ සැලකේ. ලග්නයෙන් තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද සිටි විට කුලදීපක යෝගය උදාවේ.
වෘෂභ ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද පිහිටා තිබේ නම් එය එම ලග්න හිමියාට වාසනාව උදාකරන පිහිටීමකි. තුන් වැන්න වූ කටක රාශිය තිබීමෙන් සඳු, ගුරු මහා පරිවර්තන යෝගයක් උදාකිරීමට හේතු වෙයි. මෙලෙස ග්‍රහයන් පිහිටා ඇති ජන්මීන් මතු දිනෙක මැති ඇමැති තනතුරු දරන්නන් හෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ධනවතුන් වී සිටිනු දක්නට ලැබෙනු ඇත.
කටක ලග්න කේන්දරයක එකොළොස් වැන්න වූ වෘෂභ රාශියයේදී සඳු උච්ච වෙයි. මෙසේ පිහිටීම හේතුකොට ගෙන රටක, සමාජයක, කලාපයක පාලකයකු බවට පත්වීමටද වාසනාව හිමිවනු ඇත. විශාල මන්දිරවල ජීවත් වීමටත්, යාන-වාහන දැසි දස්සන් පිරිවරා සුවපහසුවට සිටීමටත් හැකියාව ලැබෙයි. මැණික් හෝ එවැනි භූමියෙන් ලැබෙන වස්තූන් ලබන්නකු බවටද පත්වීමට වාසනාව පෑදෙයි.
කන්‍යා ලග්න කේන්දරයේ තුන් වැන්නේ ගුරුත්, එකොළොස් වැන්නේ සඳුත් පිහිටීමද ඉතා යහපත් පිහිටීමකි. වෘශ්චික රාශියට ගුරු මිත්‍රයා කටක රාශියේ හිමිකරුවා සඳුය. මෙම පිහිටීම හේතු කොටගෙන දේශපාලනයේ අති ප්‍රබල චරිතයක් විය හැකිය. විශාල දේපොළක්ද ලැබීමට වාසනාව තිබේ. අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වීමද වැළැක්විය නොහැකිය.
තුලා ලග්න කේන්දරයේද තුන් වැන්නේ ගුරු බලවත් වෙයි. සඳුට සිංහ රාශිය මිත්‍රය. මෙම පිහිටීම නිසා ඉහළ තනතුරු ලැබෙයි. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබෙයි. ගත්කතුවරු බිහිවන්නේ මෙවැන්නන් අතරිනි.
වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්න මකර රාශියයි. මකර රාශියේදී ගුරු නීචවෙයි. මෙවැනි පිහිටීම නිසා සමහර බලවතුන් මහජන මුදල් කොල්ලකෑමට යොමුවන බව දැකගත හැකිය.
මකර ලග්නයේ උපන් කෙනෙකුට තුන් වැන්න මීන රාශියයි. මීන රාශියේදී ගුරු බලවත් වෙයි. 11 වැන්න වෘශ්චික රාශියයි. වෘශ්චික රාශියේදී සඳු නීච වෙයි. මෙම පිහිටීම නිසාද බොහෝ අය ජනප්‍රිය වෙයි. එසේ කුලදීපක යෝගයෙන් උපන් මේෂ, මිථුන, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ද ඉතා වාසනාවන්ත තත්ත්වයන්ට පත්ව සිටිනු දැකිය හැකිය.
එහෙයින් පාලනය, ධනය, බලය ආදිය ලැබීමට ඉතා බලවත්ම යෝගයක් ලෙස කුලදීපක යෝගය හඳුන්වා දිය හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර කුරුණෑගල