අතීතයේ විසූ පිරිස් තම එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගන්නට විවිධ ක්‍රමවේද භාවිතයට ගත්තේය. එවැනි දේ අතර ඉපැරැණි කෙම් ශාස්ත්‍රයට හිමිවන්නේද විශේෂිත තැනකි. එදිනෙදා ජීවිතයේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේදී මෙම පහසු කෙම් ක්‍රම තුළින් විස්මිත පල ලබාගත හැකි බව පැරැණි පොතපතෙහි සඳහන්ව ඇත්තේය. අවශ්‍ය වන්නේ මේවා විශ්වාසයකින් යුතුව භාවිතයට ගැනීම පමණකි. ඇතැම් විට ඇස් ඇදහිය නොහැකි විස්මිත ප්‍රතිඵල ඇස්පනාපිට පෙන්වන බලගතු එහෙත් සරල කෙම් ක්‍රමද මෙම ශිල්පය තුළ සඳහන්ව ඇති අතර පහත සඳහන් වන්නේ එවැනි පහසු සහ සරල ඔබටම කරගත හැකි කෙම් ක්‍රම එකතුවකි.
* කුඹුරේ මීයන් මර්දයට මීයන් තළා දැමූ ගොයම නියර මත දමා මල්වරවූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කතා නොකර කළ යුතුයි.
* මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මීමැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මීවද ඇති ඉසව් නිරීක්ෂණය කළ හැකියි.
* කිරි දරුවන් නින්දෙන් හැඬීමේදී දකුණු අතේ වෙඳගිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තියන්න.
* ඇසේ එන නග්න සඳහා බත නටන විට එන බත් පෙන ගාන්න. එසේම නගනයට තුත්තිරි ගසේ ඉස්මද කතා නොකර ගාන්න. තවද උදෑසනම නැඟිට කතා නොකර ගෙය පිටුපසට ගොස් තමාගේ මුත්‍රා නගනය මත ආලේප කරන්නත් පුළුවන්.
* කිලි නැතිවීමට කතා නොකර දෙහි කොළ පොඩිකර හිසේ ගා ගැනීමත් කතා නොකර අමු ගොම ගොඩක් පාවහන් රහිතව පෑගීමත් කතා නොකර ළිඳෙන් වතුර ඇද මුහුණ කට සේදීමත් කරන්න.
* ඇස්වහ කටවහ දුරු කිරීමට කතා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ තවරා ගැනීමද කුඩා දරුවන්ගේ මුහුණේ කම්මුල ප්‍රදේශයේ ලොකුවට කැපී පෙනෙන සේ කළු තිලකයක් තැබීමද කපුටන් නාන තැනකින් ගත් වතුරෙන් මෙන්ම කම්මලේ ආයුධ පණපෙවූ පසු ආයුධ නිවෙන්නට දැමූ වතුරෙන් මුහුණ සේදීමද, මිරිස් පුච්චා දුම් ඇල්ලීමද කුඃ කුඃ කියා තුන් පැත්තකට කෙළ ගැසීමද, මලහිරු යාමයේ කතා නොකර නිවෙසේ දොරකඩට පොල්කටු පුච්චා එම පොල්කටු අඟුරු මතට අබ දමා පිලිස්සීමද අලුයම කපුටන් හැඬීමට පෙර කතා නොකර ළිඳෙන් වතුර කළයක් ගෙන ඇට ඇටිපස් වර්ගයක කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක්ද දමා කට වැස්ම බැඳ ගුප්ත ශාස්ත්‍රය හොඳින් දන්නා ඇදුරුතුමකු ලවා මතුරා එම ජලය ස්නානය කිරීම හා එසේ ස්නානය කළ ජලය නොපිහිදා ඇඟටම වියළෙන්න හරින්න. පසුව හිස් කළය කිරි ගසක ගසා බිඳ දමන්න.
* කතා නොකර පැඟිරි තෙල් ඉසීමෙන් මැස්සන් පලවා හැරිය හැකිය.
* දත් කැක්කුමට කතා නොකර බෝධියක් ළඟට ගොස් බටහිර පැත්තට ගිය අත්තකින් දල්ලක් කඩාගෙන දත් කැක්කුම ඇති පැත්තට 108 වරක් ඉහළ සිට පහළට පිසදමන්න.
* බාලගිරි දෝෂය සඳහා බදාදා දිනක උදය වරුවේ කතා නොකර දරුවාගේ මව හෝ පියා නිවෙසේ ප්‍රධාන උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නෙවේ හෙට’ යනුවෙන් තරමක් ලොකු අකුරෙන් කාටත් පෙනෙන සේ ලියා තැබීමද සෙනසුරාදා දිනක පුෂ නැකතකින් හිමිදිරි පාන්දර කපුටන් හැඬීමට කලින් කතා නොකර ගොස් ඔලිඳ මුලක් උදුරා ගෙනැවිත් කතා නොකරම දරුවාගේ දකුණු අතේ බැඳීමද කරන්න.
* මීයන් තැළුව ගොයම් ගස්වලින් සාදන ලද දරණුවක් මතට බත් හැලියක් බෑමෙන් මී උවදුර වළකයි.
* සර්පයන්ගෙන් ආරක්ෂාවට අත්තන, රත්කරල්, එළඔළිඳ, සැබෝ යන ශාකවල මුල් උදෑසන කතා නොකර ගලවා ගලේ දමා හොඳින් අඹරා අතේ තබාගන්න.
* ගොයමේ අස්වැන්න දෙගුණ තෙගුණ කර ගැනීමට ගොයම පීදීමට ආසන්න වන විට හීන් බණ්ඩි අවස්ථාවේදී ගොයම් කොළ මිටක් කපා හිසේ සුදු හඳක් ඇති ගැබ්බර වැස්සියකට කෑමට දෙන්න. මෙම කෙම හිමිදිරි පාන්දර කතා නොකර කළ යුතුය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද










