දසත වසාගෙන ඇත්තේ බුර බුරා නැඟෙන ගිනිදැල්වලිනි. එම ගිනිගත් යාය හරහා වැටී ඇති මහා මාර්ගයකි. මාර්ගය දෙපස ඇති දර්ශනීය තුරුලතාවලින් හෙබි බිම්කඩ මහා ගින්නෙන් දැවී දැන් ඉතිරිව ඇත්තේ, දැවී ගිය ගස් කඳන් පමණක්ය. එහෙත් ගින්න තවද තැන් තැන්වලින් ඇවිළී අහසට එසවෙයි. ගිනිගත් මායිමේ ඇති මහා මාර්ගයේ ඉදිරියට ඇදී එන ‘පික් අප්’ වර්ගයේ මෝටර් රථයකි. මැදිවියද පසුකර සිටින යුවළක් රථයේ ඉදිරිපස අසුන්වල සිටිති. ස්වාමියා රථය පදවන අතර, බිරිය අනෙක් අසුනේ වෙයි. කාන්තාවගේ දෙනෙත් සැබෑ ලෙසම දැල්වී ඇත්තේ ගිනිගත් කතර දෙසය. එක්වරම ඇයගේ දෙනෙත් විස්මයෙන් පිරී යන්නට විය. ඇය වහා තම කටහඬ අවදි කළාය.
‘ඉක්මනට කාර් එක නවත්වන්න. අර අතන දැක්කද? කාර් එක පස්සට ගන්න’ ඇය පසුපස බලමින් කලබලයෙන් කීවාය.
‘මොකක්ද එතැන තියෙන්නේ. හරි අපි පස්සට ගනිමු.’ ස්වාමියා දෙවරක් නොසිතා සැණෙන් රථය පසුපසට පදවා, ශබ්ද නඟමින් තිරිංග තදකර රථය නැවැත්වූයේය.
‘දෙවියනේ දැක්ක නේද? අර ‘කෝලා’ වලස් පැටියෙක් ගින්නට අසුවෙලා පිච්චෙනවා. අපි ඉක්මනට බහිමු ඌව බේරගන්න’ ඇය නැවැත කෑගැසුවාය.
‘එපා, එපා, බලාගෙන හැම තැනම තවම ගිනිගන්නවා’ ස්වාමියා කියයි.
‘නැහැ, මම ඌව බේර ගන්නවා’ යැයි කියූ ගතින් උස් මහත් වූ කත ස්වාමියාගේ වදන්ද නොඅසා වහා ගිනිගන්නා කතර මැදට පැන්නාය. ඇය සිහි විකලයෙන් මෙන් තමන් පැලැඳ සිටි කමීසය ගලවා අතට ගත්තාය. දැන් ඈ සිටින්නේ ‘තනපට’ සමඟ පමණක්ය. ගින්නෙන් තම සිරුරේ තැන් දැවුණු සත්වයා වහා බියෙන් දිවගොස් උස්වූ ගස් කඳකට නැඟ ගත්තේය. කාන්තාව වෑයම අත්හැරියේ නැත. වලස් පැටියා පසුපස දිවගොස් තමන්ගේ කමීසය යොදා ගනිමින් සත්වයා අත්දෙකෙන්ම වැරෙන් අල්ලා ගත්තේය. ඉන්පසු ඌ බිමට ගෙන තමන් සතුව තිබූ වතුර බෝතල්වලින් උගේ ශරීරය නැහැවූයේය. වලස් පැටියා කුඩා දරුවකු මෙන් මරහඬ තළන්නට විය. කාන්තාව තවත් වතුර බෝතලයක් ගෙන සත්වයාට වතුරද පොවන්නට වූවාය. ඉන්පසු තම කමීසයෙන් ඔතාගත් සත්වයා ගෙන මෝටර් රථය දෙසට දුවන්නට වූවාය. කෝලා වලසා පැටියකු වුවද ඉතාමත් හොඳින් වැඩුණු තත්ත්වයක පසුවිය. එහෙත් ඌ තම දැවුණු තුවාල හේතුවෙන් කුඩා දරුවකු මෙන් ඉතාමත් ශෝක බරිතව මරහඬ දෙන්නට විය. දිරිය ගැහැනිය තම වෑයම තවද අත්හැර නැත. මෝටර් රථය තුළට සත්වයාද සමඟ නැඟගත් ඇය සැමියාට වහා පැවසුවේ ඉක්මනින්ම සත්ව රෝහලක් කරා යන ලෙසය. රථය සැණෙන් පණගැන්වී ඉගිල්ලුණේය.
සත්තු බිලියන හතරහමාරක් පණපිටින් පිච්චිලා

මෙම ලොමුදැහැ ගැන්වෙන ශෝකීය කතාව ඇසෙන්නේ මේ පොළෝ තලයේ කුමන මායිමකින්ද? පසුගිය මාසයක් පුරාවට ගිනිගෙන දැවෙන ඕස්ටේ්‍රලියාවේ බිම් කඩකින් මේ කතාව ඇසෙන්නට වූවා පමණක් නොව, එහි දසුන් ලොව පුරා සිටින ජනී, ජනයා දෙනෙතින්ද දකින්නට වූයේය. විවිධ රූපවාහිනී මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා අද මෙම සත්‍ය දසුන් දක්නට හැකිය. ඕස්ටේ්‍රලියාවේ හෙක්ටයාර දහස් ගණනක් මුළුමනින්ම ගිලගත් මහා ළැව්ගින්න මේ වන විටද පැතිරෙමින් ඇත. මෙම මහා විනාශය නිසා මිනිස් ජීවිත 25ක් පමණක් විනාශ විය. එම මනුෂ්‍ය හානිය යම් පමණකට අවම වූයේ ගින්න පැතිරෙමින් තිබෙන විටදී එම ප්‍රදේශවල පිරිස් වහා හැකි ඉක්මනින් තම දේපොළ සියල්ල ගින්නට බිලි දෙමින්, ආරක්‍ෂිත ප්‍රදේශ කරා පලා යෑමය. ඔවුනට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක්ය. තමන්ගේ ජීවිතය රැක ගත්තද ඔවුන්ගේ ගේ-දොර, වතුපිටි, යාන-වාහන හා අනෙක් සියල්ලම ගින්නෙන් අළු දූවිලි බවට පත්විය.
මිනිසා මෙසේ ජීවිත හානියෙන් ගැලවුණද මෙම කුරිරු ගිනි විනාශය නිසා සතුන්ට අත්වූ ඉරණම අතිශයින්ම ඛේදජනකය. ඉහත මේ ලිපිය පටන්ගත් දසුන් පෙළ මේ වන විට කඳුළු සලන කතාවක් බවට පත්වී ඇත. මෙම ශෝකීය සිදුවීමේ කතා නායිකාව වූ ටෝනි ඩොරති නමැති ඕස්ටේ්‍රලියානු කාන්තාව තම සැමියා සමඟ ගින්නට හසුවූ ප්‍රදේශයක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා ගමන් ගන්නා විට මෙම සිදුවීමට මුහුණ දුන්නාය. මෙම ප්‍රදේශයේ මාර්ගය දෙපස බොහෝ දුරක් තෙක් විහිදී ඇත්තේ ජාතික වනෝද්‍යානයක බිම්කඩය. එහෙත් අක්කර දහස් ගණනක් වූ එම බිම්කඩ ගින්නෙන් දැවී විනාශ වී ගිය අතර, මෙම ප්‍රදේශය වනසත්ව විශේෂ සිය ගණනකට වාසස්ථානයක් විය. එහෙත් මේ වන විට එම වනසතුන්ට අයත් වූ ඉරණම වචනයෙන් ගලපා පැවසීමට තරම් අතිශය ශෝකජනකය. ටෝනි ඩොරති නම් කාන්තාව ඉහත සිදුවීමට මුහුණ දෙන්නේ එවැනි ඛේදනීය වටාපිටාවකදීය. තම ජීවිතය පවා පරදුවට තබා ඇය මෙම අහිංසක මරණාසන්න සත්වයා බේර ගන්නා දසුන් එම මාර්ගයෙහි ගමන්ගත් අයකු විසින් රූපගත කර ඇත.

ඉතාමත් දැඩි ලෙස පිලිස්සුම් තුවාල සහිත වූ මෙම කෝලා වලස් පැටියා ඇය විසින් බොහෝ දුරක් ගෙවා ගොස් සත්ව රෝහලට භාර දෙන ලදී. පසුව එම රෝහල් ප්‍රතිකාරද හේතුවෙන් මේ වන විට එම සත්වයා ඉතාමත් සුවයෙන් සිටි බැව්ද වාර්තා වෙයි. සත්වයාගේ සුවදුක් බැලීමට ටෝනි සෑම දිනකම එම රෝහලට යන අතර, ඇයගේ කුඩා මුනුපුරකුගේ නම වන ‘ලුවීස්’ යන්න ඇය විසින් වලස් පැටියාට තබා ඇත. සැබැවින් මෙම ගැහැනිය ඉතාමත් නිර්භය දිරිය කතක් බවට අද මුළු ලොවම පිළිගෙන ඇති අතර, ඇය ගැන විවිධ මාධ්‍ය වැඩසටහන් ලොව පුරාම ප්‍රචාරය වෙයි.
ලංකාව තරම් භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශයි
ඕස්ටේ්‍රලියාවේ සිදුවූ සහ දැනටත් සිදුවෙමින් පවතින මෙම මහා ළැව්ගින්න මෙතෙක් ලොව ඇතිවූ ස්වාභාවික විපත්වලින් ප්‍රධානතම ස්ථානයක් ගෙන ඇත. එහි බියකරු විනාශය කොතෙක්ද යැයි තක්සේරු කළ නොහැක. ගින්න හේතුවෙන් මේ වන විට ඕස්ටේ්‍රලියාවේ ඉඩම් අක්කර මිලියන 12.35ක සුවිශාල ප්‍රදේශයක් මුළුමනින්ම දැවී, අළුවී අවසානය. මෙම ඉඩම්වලින් විශාල කොටසක් රටේ සාම්ප්‍රදායික වන භූමි, ජාතික වනෝද්‍යාන සහ රක්‍ෂිත වනාන්තරවලට අයත් වෙයි. මේ හෙයින් සිදුවී ඇති වනසත්ව විනාශය ගැන ලොවම තම අවධානය යොමු කළ යුතුව ඇත. මිනිස් ජීවිත මෙම ගින්න නිසා රැකුණත්, අහිංසක වනසත්ව ජීවිතවලට අත්වී ඇති ඉරණම අදහාගත නොහැකි එකක් බවට පත්වී ඇත.

දැනට වාර්තා වන අන්දමට මෙම ළැව්ගින්නෙන් වනසත්ව ජීවිත මිලියන 480ක් පමණ, එනම් බිලියන භාගයක පමණ සතුන් මරණයට පත්වී ඇත. මෙය විටක සිතාගත නොහැකි තරමේ විස්මයජනක අගයකි. එහෙත් එම වනාන්තරවල සිටින ලද සත්වයන්ගේ ගහනයන්ගේ දත්තවලට අනුව එම සංඛ්‍යා ලේඛන නිවැරැදිය. මෙම සත්වයන් සඳහා විශාල ප්‍රමාණයේ සිට ඉතාම කුඩා ප්‍රමාණයේ සත්ව වර්ගයන්ද අයත්ය. එසේම ගින්න නිසා තුවාල ලැබූ සතුන්ගේ ප්‍රමාණයද අසීමිතය. විනාශයට පත්වූ සත්ව වර්ගයන් අතරින් ප්‍රධානතම සත්ව වර්ග දෙක වන්නේ ඕස්ටේ්‍රලියාවටම ආවේණික වූ සත්ව විශේෂත්වයක් වන ‘කෝලා වලසා’ සහ ‘කැන්ගරුවා’ ය. ලොව අන් රටවල වනාන්තරවලදී දැකිය නොහැකි මෙම සත්ව විශේෂ දෙක ජාත්‍යන්තර පරිසර සංරක්‍ෂණ සංවිධානයේ, රතු දත්ත ලැයිස්තුවට අයත් වන වඳවී යන සත්ව විශේෂයක් වෙයි. මෙයින්ද කෝලා වලසා සිටින්නේ ඉදිරියෙනි. මෙම සත්වයා ඕස්ටේ්‍රලියාවේ නිව්සවුත් වේල්ස්, ක්වීන්ලන්තය සහ වික්ටෝරියා යන ප්‍රදේශවල වන ගහනයන්හි වාසය කළ අතර, එම ප්‍රදේශ සියල්ල ගින්නට බිලිවිය. එම ප්‍රදේශවල ඇති ඉයුකැලිජ්ටස් වනාන්තරවලදී මෙම සතුන් බහුලව දැකි හැකිය. ශාක භක්‍ෂක ඉතාමත් අහිංසක සත්වයකු වන කෝලා වලසා කිලෝ 4-15ත් අතර බර ප්‍රමාණයෙන් යුක්තය. මොවුන්ගේ ජනප්‍රිය ආහාරයක් වන්නේ ඉයුකැලිජටස් ශාකයේ දළු කොළ වන අතර, ඒ හෙයින් ඔවුන් නිරන්තරයෙන්ම එම ගස් මුදුන්වලට වී සිටිති. එසේම ඔවුන් කලබලවූ විට වහා පැන දුවන සතුන්ද නොවේ. ඒ හෙයින් ඉහත ප්‍රදේශවල වනාන්තර ගිනිගත් විටදී මෙම සත්වයන් විශාල වශයෙන් එම ගින්නට කොටුවී ඇත. එසේම මෙම සත්වයා දවසේ පැය 15-20ක් පමණ කාලයක් ගස්මුදුන් මත නින්දේද පසුවෙති. මෙවැනි ස්වාභාවික චර්යාවන් නිසා උන්ට මෙම ලැව්ගිනි නිසා දරුණු හානි පැමිණ ඇත.
කෝලා වලසුන් 35,000ක් මරුට

විවිධ වනසත්ව පර්යේෂණ සංවිධාන පවසන ආකාරයට මේ වන විට කෝලා වලසුන් 35,000කට අධික ප්‍රමාණයක් ගින්නට දැවී මියයන්නට ඇතැයි පැවසෙයි. මෙම සත්වයන්ගේද විශේෂිත කිහිපයක් වන අතර, මින් එක් විශේෂයක් මේ වන විට සොයා ගැනීමටද නොහැකි තත්ත්වයට පත්වී ඇත. සමහර විශේෂ කිහිපයක් තැනින් තැන නිරීක්‍ෂණය කර ඇතත්, එම ප්‍රමාණයන් ඉතාමත් අල්ප සංඛ්‍යාවකට පත්ව ඇතැයිද එම සංවිධානවල සත්ව හා පරිසර විශේෂඥයන් පවසා සිටිති. මෙම තත්ත්වය අතිශය බියකරු තත්ත්වයක් වන අතර, තවත් නුදුරු දිනයකදී කෝලා වලසා මුළුමනින්ම වඳවී යන තත්ත්වයකටද පත්වන්නට ඉඩ ඇතිය. මෙම බියකරු ලැව්ගින්න හේතුවෙන් තවත් දරුණු ලෙස විනාශයට පත්ව සිටින සතෙකු වන්නේ කැන්ගරුවාය. මෙම සත්වයාද ඕස්ටේ්‍රලියාවට පමණක්ම ආවේණික සතකු වන අතර, කැන්ගරුවන් 75,000කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් දැවී මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. කැන්ගරුවා කෙතරම් ගරුකරනු ලබන සතෙක්ද යැයි ප්‍රකාශ වන්නේ එම සත්වයාගේ රුව ඕස්ටේ්‍රලියාවේ රාජ්‍ය නිල ලාංඡනවලටද භාවිත කරනු ලැබීමෙනි. මේ අනුව දීර්ඝ කාලයක සිට ඕස්ටේ්‍රලියානු රාජ්‍ය නිල ලාංඡනය, රාජ්‍ය ගුවන් සේවය වන ‘ක්වන්ටාස්’ ගුවන් සේවය, ඕස්ටේ්‍රලියානු ගුවන් හමුදාව, රාජ්‍ය ආයතන ලාංඡන සහ මුදල් නෝට්ටු සඳහාද කැන්ගරුවාගේ රුව භාවිත කරනු ලබයි. දැනට කැන්ගරුවන් මිලියන 3ක පමණ ප්‍රමාණයක් මෙම රටේ වාසය කරතත් එම සත්වයා අනවසර ලෙස ඝාතනය කරනු ලබන්නේ මස් සඳහාය. කැන්ගරුවාගේද විශේෂ කිහිපයක්ම වන අතර, උන් කිලෝ 2 සිට කිලෝ 9 පමණ දක්වා බර ප්‍රමාණවලින් සිටිති.
කෝලා වලසුන් සහ කැන්ගරුවන් ගත්කළ කැන්ගරුවන් නම් විශාල ගහණයක් ඇතත්, කෝලා වලසුන් මේ වන විට ඇත්තේ 80,000 කට (අසූ දහසක්) ආසන්න ප්‍රමාණයක් බැව් පැවසෙයි. මෙයින් හරි අඩක්ම මේ වන විට මරණයට පත්වී ඇතැයි විශ්වාස කෙරෙයි. ඒ හෙයින් ලොව පරිසර සහ සත්ව සංවිධාන දැඩි ලෙස අනතුරු අඟවා ඇත්තේ එම ඉතිරිව ඇති සතුන් ඉතාමත් දැඩි උනන්දුවකින් රැකබලා ගතයුතු බැව්ය. එසේ නොමැති වුවහොත් මුළු සත්ව විශේෂයම මෙම ලොවින් වඳවී යන බැව්ය. කැන්ගරුවන් විශාල ගහනයක් ඇති හෙයින් එම සතුන්ට මෙම අනතුර බලපා නැත.
මෙම භයානක ලැව්ගිනි හේතුවෙන් මේ වන විට සත්ව විශේෂ ගණනාවක් මරණයට පත්ව ඇත. එම විශේෂ සඳහා සිවුපාවුන්, කුරුල්ලන්, සර්පයන් සහ කෘමි වර්ග රැසක් අයත්ය. ඉතා විශාල මහාද්වීපයක් වන ඕස්ටේ්‍රලියාවේ සත්ව වර්ග රැසක් ජීවත් වෙති. මෙම බොහෝ සතුන් එම රටටම ආවේණික සත්වයන් වෙති. පරිසරවේදීන් මේ වන විට මෙම විනාශයට පත්ව ඇති සත්ව වර්ග ප්‍රකාශයට පත්කර ඇත. ඒමු, වොලබි, ඉචිඞ්නා, ඩින්ගෝ, ජලාටිපස්, වොම්බැට්, ක්වේල්, ග්ලිඩර්, මැක්රෝටිස් සහ මකුළුවන්, කටුස්සන්, සමනලයන් මෙ විනාශයට පත්ව ඇති සත්ව වර්ගයන් වෙයි. මේ අතර, අනෙක් බියකරු විනාශය වන්නේ එම සතුන්ගේ වාසස්ථාන භූමි ගින්නෙන් විනාශ වී යෑමය. මේ වන විට ඩොලර් මිලියන ගණනාවක වටිනාකම ඇති ඉයුකැලිජටස්, බ්ලූජෙම් සහ පයින් ගස් ලක්‍ෂ ගණනාවක් මුළුමනින්ම දැවී විනාශ වී ඇත. වනගහනයන් විනාශ වී යෑම ජීවත් වී සිටින සත්වයන්ට තවත් ආකාරයකින් කබලෙන් ළිපට වැටීමකි.
මේ වන විට ඕස්ටේ්‍රලියාවේ අක්කර මිලියන 15ක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයද අක්කර මිලියන 16ක් පමණ වෙයි. ඒ අනුව බලන කළ ශ්‍රී ලංකාව තරම් විශාල භූමියක් ගිනි ජාලාවක් බවට පත්වී ඇත.
මේ වන විට පරිසර සහ සත්වවේදීන් පවසන ආකාරයෙන් ඕස්ටේ්‍රලියාවටම ආවේණික වූ සත්ව විශේෂ කිහිපයක්ම සහමුලින්ම වඳවී ගොස් ඇති බවට අනතුරු හඟවා ඇත. එසේ වන්නේ නම් එය කෙතරම් ශෝකජනක කතාවක්ද? ලොවට ඉතිරි වන්නේ එම සත්වයන්ගේ සේයාරූ පමණක්ද?
වැඩිපුර වතුර බොනවාට ඔටුවන් 10000කට වෙඩි තියා මරයි

‘කොරේ පිටට මරේ’ යැයි කියමන සිහිගන්වමින් තවත් පුදුමාකාර පුවතක්ද ඕස්ටේ්‍රලියාවෙන් වාර්තා වෙයි. එනම් මෙසේ ගිනි ජාලාවක් නිසා සතුන් මැරී යන අවස්ථාවකදී, ඕස්ටේ්‍රලියාවේ එක් ප්‍රාන්තයක හොඳින් සිටින සතුන් දහ් ගණනක් සිතාමතා මරා දැමීමට පියවර ගැනීමයි. එනම් දකුණුදිග ඕස්ටේ්‍රලියාවේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරීම සිටින කැලෑ ඔටුවන් 10,000ක් වහාම මරා දැමීමට ඕස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබීමය. අසීමිතව, වැඩියෙන් ජලය පානය කිරීමේ ප්‍රශ්නය මත මෙම ඔටුවන් ඝාතනය කිරීමට කටයුතු යොදා ඇත. මෙම විශාල ඔටු රංචු වියළි, ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන අතර, මෙම ප්‍රදේශවල ඕස්ටේ්‍රලියානු ගෝත්‍රික ජනතාවක් වන ඇඩොර්ජියානු වැසියන්ද වාසය කරති. මෙහිදී දහස් ගණනක් වූ ඔටුවන් එම ප්‍රදේශවල ඇති ජල මූලාශ්‍ර සහ කඩිතිවලින් අධික ලෙස ජලය පානය කිරීම නිසා එම ජල මූලාශ්‍ර හිඳීගොස් ඇත. ඔටුවන් සාමාන්‍යයෙන් ඉතාමත් අධික ලෙස ජලය පානය කරන සතුන්ය.
මේ අනුව ඔටුවන් 10,000ක් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භ වූ අතර, ඒ සඳහා ඉලක්කය බලා දුර සිට වෙඩි තබන වෙඩික්කරුවන් යොදා ගන්නවා ඇත. ඔවුන් හෙළිකොප්ටර් යානාවලින් ගමන් ගනිමින් මෙම සතුන්ට වෙඩි තබනු ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ











