ජනප්‍රිය ගායක ශිල්පී භාචි සුසාන් පසුගියදා හිසෙහි ඇතිවුණ වේදනාවක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක්වුණා. ඔහුගේ අසනීප තත්ත්වය ඔබටත් වේදනාවක් ගෙන දෙන්නට ඇති. ඔබගේ ආදරණීය ප්‍රාර්ථනාවත් සමඟ භාචි සුසාන් සුව අතට පත්වෙමින් සිටින කාලවකවානුවක වේදනාකාරී බව නොතකා ඔහු ඔබ වෙනුවෙන් අප සමඟ මෙලෙස අදහස් ප්‍රකාශ කළා.
හදිසියේම භාචිට මොකද වුණේ?
හදිසියේම ඇතිවුණ හිසෙහි වේදනාවක් නිසා මට පෞද්ගලික රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ලබන්න සිද්ධවුණා. එහිදී වෛද්‍යවරුන් මාව පරීක්ෂා කර බලා ඔවුන් පැවැසුවා මගේ හිසේ අභ්‍යන්තර ලේ වැගිරීමක් සිදුවන බව. ඉන්පසු වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ යටතේ මාව කොළඹ ජාතික රෝහලට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඇතුළත් කළා.
එවැනි තත්ත්වයක් ඇතිවෙන්න මොකද්ද හේතුව?
මම හිතනවා කලින් සිදුවූ රිය අනතුරත් එයට බලපාන්න ඇති කියලා. ඒවගේම අසීමිතව ශරීරය වෙහෙසවීම සහ එයින් ඇතිවූ ආතතිය බලපාන්නත් ඇති කියලා මම හිතනවා.
වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර මත දැන් ඔබගේ තත්ත්වය කොහොමද?
දැන් නම් මට ඒ තිබුණ හිසේ වේදනාව නැහැ. දැන් තියෙන්නෙ ශල්‍යකර්මය නිසා ඇතිවුණ වේදනාව පමණයි. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මගේ තත්ත්වය අනුව ඉක්මනින් සුව තත්ත්වයට පත්වෙයි කියලා. දැනට අනුමත කළ බෙහෙත් ප්‍රතිකාර ලබමින් විවේකීව ඉන්නවා.
අසනීප වීමත් සමඟ භාරගත්ත වැඩකටයුතු රාශියක් අතපසු වෙන්න ඇති නේද?
ඇත්තටම කියනවා නම් මගේ ජීවිතයේ නිර්මාණ වැඩකටයුතු ගොඩක් භාරගත්ත කාලයක් මේ. සමහර විට ඒ කාර්යබහුලත්වය මෙයට බලපාන්න ඇති. පසුගිය නත්තල් සමයත් 2020 නව වසර උදාවත් එක්ක බාරගත්ත වැඩකටයුතු රාශියක් මේ නිසා අතපසු වුණා.
වෛද්‍යවරුන්ගේ අදහස් පරිදි තව කොපමණ කාලයක් විවේකීව ඉන්න සිදුවෙයිද?
ඔවුන්ගේ ප්‍රතිකාර පරීක්ෂණ අනුව මට තව මාස හතරක්වත් විවේකීව කාලය ගතකරන්න සිදුවෙයි. සෑහෙන කාලයක් යනකම් මට ප්‍රසංග සඳහා සහභාගි වීමට නොහැකි වෙයි කියලා මම හිතනවා. වෛද්‍යවරුන් පුදුමයට පත්කරන කරුණක් තමයි සාමාන්‍යයෙන් මේ ශල්‍යකර්මය කරපු රෝගියෙක්ට වඩා මට ඉක්මන් සුවයක් පෙන්වීම. මම හිතන්නේ මට ආදරය කරපු ලාංකික හා විදෙස් රටවල ජීවත් වන මගේ ආදරණීය රසික, රසිකාවියන්ගේ සහ හිතවත් සහෝදර මිත්‍රවරුන්ගේ ආශීර්වාදය මෙයට බලපාන්න ඇති. මෙතරම් ඉක්මනින් මට සුවයක් ලැබීමට.
ඔබේ වැඩකටයුතු ක්‍රමානුකූලව සැලැසුමක් ඇතිව කරගෙන එන්න ඇති නේද?
මේ වෙද්දි ප්‍රසංග වේදිකාවේ නොඇසුණ ගීත සෑහෙන ප්‍රමාණයක් මා නිර්මාණය කර තිබෙනවා. ඒ ගීත මා විවේක සිටින කාලය අතරතුර ප්‍රචාරය කිරීමට සැලැසුම් කරනවා. ඒ නිසා මම ප්‍රසංග සඳහා සහභාගි නොවුණත් මගේ ප්‍රේක්ෂකයන්ට මගේ නිහැඬියාව දැනෙන එකක් නැති වෙයි. මොකද මම මේ අවුරුද්දේ මෙතෙක් මා නොකරපු වෙනස්ම ආකාරයේ ගීත රැසක් එළිදක්වනවා. පසන් ලියනගේ සංගීතවත් කළ හිරුෂි ජයසේන යුග ගායනයට සම්බන්ධ වුණ මාගේ අලුත්ම ආදරය ගීතය ‘කිරුළ ඔබ’ ළඟදීම අසන්නට ලැබෙයි.
2020 අලුත් අවුරුද්දේ ඔබේ හිත් යට සැඟවුණ සොඳුරු පැතුමකුත් ඇති නේද?
යහපත් සිතුවිලි සහ මානුෂික හැඟීම්වලින් පිරි සුන්දර සමාජයක් බිහිවේවායි යන්න මගේ එකම පැතුමයි. සැමටම සුබම සුබ නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
වසන්ත විතාරණගේ











