පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ….
එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ….
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ….
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ….
ඔන්න ඉහළින් තියෙන කවිය දැක්කම අපි මේ අද යන්නේ කොහෙටද කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද කවියේ අන්තිම පේළියේ අපි යන තැන නම තියෙනවා. ඔබ හිතුව විදිහටම අපි මෙහෙම යන්නේ ඓතිහාසික කැලණිය රජමහා විහාරයට. ඇත්තටම කැලණිය රජමහා විහාරය අයිති වෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ කියන පරිපාලන දිස්ත්‍රික්කයට. සමනල කන්දේ ඉඳන් ගලාගෙන ඇවිත් මුහුද හොයන් යන කැලණි ගං තුරුලේ තමයි අපි අද යන මේ කැලණිය රජමහා විහාරය තියෙන්නේ. ඔන්න අපි කැලණිය පින්බිමට ගියේ පෝය දවසක නොවුණට මේ කැලණිය පින්බිම වැඳපුදා ගන්න බොහෝ බෞද්ධ ජනතාවක් ඇවිත් හිටියා. ඉතින් ඔවුන් සමඟ අපිත් ගිහින් ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ අපේ අය දන්න නොදන්න ඉතිහාස කතාව හොයාගත්තා. ඒ එක්කම ඔන්න අපි එදා ඇවිත් හිටපු මිනිස්සු එක්කත් ටිකක් කතාබහ කළා.
ඇත්තටම කිව්වොත් අපේ බෞද්ධ ජනතාවගේ විශ්වාසයට අනුව කැලණිය කියන්නේ අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ පාද ස්පර්ශය ලබපු ඉතාම පූජනීය පින්බිමක්. එදා ගෞතම බුදු හාමුදුරුවෝ අපේ රටට නැත්නම් ශ්‍රී ලංකාවට තුන් සැරයක්ම වැඩියා කියලා කියනවා. ඒ මහියංගණයට නාගදීපයට සහ මේ කියන කැලණියට. ඉතින් අපි අද මේ කියන කැලණිය හුඟාක් ප්‍රසිද්ධ වෙන්නත් බලපාන ලොකුම කාරණාව ඒක. අපි දන්න විදිහට බුදු හාමුදුරුවෝ එදා කැලණියට වැඩියේ තම තෙවන ලංකාගමනය විදිහට. ඒක තවත් විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි එදා එහෙම කැලණියට වැඩිය අවස්ථාවේ තමයි උන්වහන්සේ සුමන සමන් දෙවියන්ගේ විශේෂ ආරාධනාවක් හින්දා සමනල කන්දේ තමන්ගේ ශ්‍රී පාද ලාංඡනය තියන්නේ. ඉතින් ඔන්න අය කාරණා හින්දත් කැලණිය ගොඩාක් ප්‍රසිද්ධයි. ඒ වගේම “උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…” කියලත් කියවන ඔබ අපූරු කතාවක් අහලා ඇතිනේ. ඒ කියන කැලණියත් ඔන්න මේක තමයි. හැබැයි ඉතින් ඔය දේවල් නම් ඇත්තමද නැද්ද කියලා නම් අපි දන්නේ නෑ. මොකද අපි ඒ කියපු කතාව ඇත්තයි කිව්වොත් රටේම මිනිස්සු ටික කරන තරමක් පව් වැඩ කරලා ඇවිත් කැලණි විහාරය වැඳලා යයි. ඒ හින්දා ඔන්න අපි ඒ ගැන නම් ඉතින් කට හොලවන්නේ නෑ.
ගෞතම බුදු හාමුදුරුවෝ එදා කැලණියට වැඩියේ මැණික් පුටුවක් සම්බන්ධ කාරණාවකට කියලා කියවන ඔබ දන්නවනේ. එහෙම වැඩියේ මණිඅක්ඛිත නා රජුගේ විශේෂ ආරාධනාවකට අනුව. ඉතින් අපේ බුදු හාමුදුරුවෝ එහෙම ලංකාවට වැඩියෙත් තනියම නෙවෙයි. එදා ඒ ගෞතම බුදු හාමුදුරුවෝ එක්ක මහා රහතන් වහන්සේලා පන්සීයක පිරිසක් එකතු වෙලා තියෙනවා. ඔවුන් සියලුදෙනා කැලණියට වැඩම කරලා තියෙන්නේ අහසින්. ඉතින් ඔය සිදුවීම දැකපු දෙව්ලොව දෙවිවරු පවා අහසේ ඉඳන්ම ආපු පිරිසට වැඳ නමස්කාර කළා කියලා කියනවා. ගෞතම බුදු හාමුදුරුවෝ එදා කැලණියට එන්නේ වටින මැණික් පුටුවක් නිසා දෙපිරිසක් අතර සිදුවුණු විශාල ගැටුමක් සමථයට පත් කරන්න. එහෙම වැඩිය බුදු හාමුදුරුවෝ අවසානේ ඒ දෙපිරිසටම ධර්මය දේශනා කරන්නෙත් ඒ මැණික් පුටුවේ ඉඳගෙන. මහාවංශය කියන විදිහට කැලණිය චෛත්‍ය ගර්භයේ මැණික් පුටුව දැන් නම් නිදන් කරලා තියෙන්නේ. ඔය කතාව කැලණිය ගැන ලියවුණු අපූරු කවියක මෙන්න මෙහෙම කියලා තියෙනවා.
අහසිත් අවුත් මිණි අක්
නයිඳු යැදුමට….
රහතන් මැදේ මුනි හිඳ
මිණි පළඟ පිට….
දහමුත් දෙසුව තැන කළ
සැට රියන් කොට….
මහා දාගැබ් හිමිත් වඳිමු
සොළොස් තැන් සිට….
එදා කැලණියට වැඩම කරපු බුදු හාමුදුරුවෝ කැලණි ගඟෙන් ස්නානය කරපු පොඩි කතාවකුත් තියෙනවා. එහෙම ස්නානය කරලයි උන්වහන්සේ අර කීව මැණික් පුටුවේ ඉඳගෙන ධර්මය දේශනා කෙරුවයි කියන්නේ. කොහොමින් හරි ඒ කීව මැණික් පුටුව නිදන් කරලා මුලින්ම කුඩා චෛත්‍යයක් බැන්දයි කියන්නේ මණිඅක්ඛිත නා රජු. ඒත් කාලයත් එක්ක දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් බව කියන උත්තිය කියන කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට සෑහෙන්න දායක වෙලා තියෙනවා. තව ඒ චෛත්‍යය ළඟින්ම බෞද්ධ විහාරයකුත් හදලා එතුමා මහා සංඝයාට ඒක පූජා කරනවා. ඒත් එක්කම පස්සේ කාලෙක යඨාලතිස්ස රජතුමා අර මණිඅක්ඛිත නා රජු හදපු චෛත්‍යය සැට රියනක් උසට බන්දනවා. ඔන්න ඊට පස්සේ තමයි ඔය චෛත්‍යය “කැලණිය චෛත්‍යය” විදිහට නම් කරන්නේ. එදා ධාන්‍යාකාර යන ආකෘතියට හදපු කැලණි චෛත්‍යය ඔන්න අදත් කැලණි ගියොත් ඒ විදිහටම බලාගන්න පුළුවන්. ඒ වගේම යඨාලතිස්ස රජතුමාම පස් මහල් ප්‍රාසාදයකුත් කැලණියේ හැදුවයි කියනවා. හැබැයි ඔය සිදුවීම්වලින් පස්සේ කැලණියේ වෙන ඊළඟ ලොකුම සිදුවීම වෙන්නේ කැලණිතිස්ස රජතුමාගේ කාලේ. ඒ කතාව මෙහෙමයි.
ඔය කැලණිතිස්ස රජතුමා රජකම් කරන කාලේ ඔහුගේ බාල සොහොයුරා වන අරිය උත්තිය කුමාරයා කැලණිතිස්ස රජතුමාගේ බිසව එක්ක රහසින් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. දවසක් රජ මාලිගාවේ තිබුණු දානමය පින්කමකට ඒ අරිය උත්තිය කුමාරයා තමන්ගේ සේවකයෙක් සිවුරක් අන්දලා පෙම් හසුනක් එක්ක ඒකට වඩින සංඝයා පිරිස එක්කලා මාලිගාවට යවනවා. කොහොමින් හරි ඔය පෙම් හසුන රජතුමාට අහුවෙනවා. ඊට පස්සේ ඒ ප්‍රේම සම්බන්ධයට රජතුමා සැකකරන්නේ කැලණිය විහාරයේ හිටපු මහරහතන් වහන්සේ නමක්. ඒ සැකය උඩ රජතුමා උන්වහන්සේ ගෙනැත් තෙල් කටාරමකට දාලා ගින්දරින් රත් කරලා ඝාතනය කරනවා. පස්සේ ඒ මිනිය මුහුදට විසිකරලා දානවා. හැබැයි ඒක ලොකු පාපයක් කියලා රජතුමාට හිතෙන්නේ නෑ. කොහොමින් හරි ඒ පාපය එදා රටටම බලපානවා. ඒ බලපාන්නේ මුහුද ගොඩ ගලලා. ඉතින් මුහුදු ගොඩ ගැලීමත් එක්ක මිනිස්සු හුඟාක් අසරණ වෙනවා. ඔවුන්ගේ හැමදෙයක්ම මුහුදු බත් වෙනවා. ඒ එක්කම රජතුමා බයවෙලා මාලිගාවේ නිමිතිකරුවෝ ගෙන්වලා ඔවුන්ගේ උපදෙස් පතනවා. ඔවුන් හැමෝම කියන්නේ “දේවී” කියන රජතුමාගේ එකම දියණිය අර මුහුදට බිලි දුන්නොත් සියල්ල හරි යයි කියලා. ඉතින් ඒ උපදෙස් උඩ කැලණිතිස්ස රජතුමා තමන්ගේ එකම දුව මුහුදට බිලිදෙන්න තීරණය කරනවා. එතකොට ඒ කුමරියට වයස අවුරුදු දාසයයි.
ඔය සිදුවීමෙන් “දේවී” කුමරියට හානියක් වෙන්නේ නෑ. හැබැයි මුහුද සන්සුන් වෙනවා. එදා ඇය එක්ක මුහුදට පා කරපු රුවල් නැව පාවෙලා ගිහිල්ලා අන්තිමේ ගොඩගහන්නේ දකුණට. දකුණට කියන්නේ කිරින්දට. ඔය කුමරිය එදා මුහුදේ මසුන් අල්ලන්න ගිය ධීවර පිරිසක් දකිනවා. ඔවුන් එය එවකට රුහුණු රට පාලකයා වෙලා හිටපු කාවන්තිස්ස රජතුමාට දන්වනවා. පස්සේ රජතුමා ඇයව මාලිගාවට එක්කන් ඇවිත් ඇයව විවාහ කරගන්නවා. ඊට පස්සේ තමයිලු ඇය “විහාරමහා දේවිය” වෙන්නේ. තවත් විදිහකට ඒ කතාව කිව්වොත් අපේ දුටුගැමුණු රජතුමාගේ වගේම සද්ධාතිස්ස රජතුමාගේ මව තමයි විහාරමහා දේවිය කියන්නේ. කොහොමින් හරි අපි ආයෙමත් ඔය කතාව කැලණියට ගෙනාවොත් කැලණිතිස්ස රජතුමාගෙන් පස්සේ කැලණි රාජ්‍යය අභාවයට පත්වෙනවා. හැබැයි කාලයත් එක්ක කැලණිය ආයෙත් දියුණු වෙනවා. අපේ මහාවංශයේ තියෙන විදිහට දුටුගැමුණු රාජ්‍ය සමයේ මේ කැලණි විහාරයේ රහතන් වහන්සේලා පන්සීයක් වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේම අපේ කණිෂ්ඨතිස්ස රජතුමා සහ මහා පරාක්‍රමබාහු රජතුමා වගේම අපේ නිශ්ශංකමල්ල රජතුමා සහ මෝහාරිකතිස්ස කියන රජතුමා පවා කැලණිය පින්බිම සංවර්ධනය කරන්න රජවරුන් විදිහට දායක වෙනවා.
කාලයත් එක්ක මේ කැලණිය රජමහා විහාරයට අඳුරු කාලයකුත් ආවා. විශේෂයෙන් කාලිංග මාඝගේ ආක්‍රමණයත් එක්ක කැලණි විහාරයට ඉතාම ලොකු හානියක් වුණා. ඒත් එක්කම පෘතුගීසි සහ ලන්දේසි යුගයන්වලදී මේ කැලණි විහාරය ඔවුන් සහමුලින්ම වගේ විනාශ කළා. හැබැයි අර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන්ගේ අනුශාසනා එක්ක කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන්ට තමන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් දීලා කැලණි විහාරය ආයෙත් අලුතින්ම හැදුවා. ඊටත් පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අර බුද්ධ රක්ඛිත හිමියන්ට තඹ සන්නසකින් කැලණි විහාරය පවරලා දුන්නා. ඔන්න ඒ කතාව කැලණි වෙහෙර සෙල්ලිපියෙන් ඔප්පු කරන්න පුළුවන්. ඒත් එක්කම අද අපි යන එන විහාර මන්දිරය හැදෙන්නේ 1927 අවුරුද්දේ විතර. ඒ වගේම එහි අපූරු සිතුවම් අඳින්නේ 1930 අවුරුද්දේ. සෝලියස් මැන්දිස් කියන කලාකරුවා අඳින ඔය සිතුවම් අයිති වෙන්නේ මහනුවර යුගයට. ඒත් එක්කම කැලණි විහාරයේ ඇති මහා බුද්ධ මන්දිරය හදවපු “හෙලේනා විජයවර්ධන” මැතිනිය අමතක කරන්නත් බෑ. අවුරුදු 19ක් පුරාවට හැදුණු ඒක හදලා අවසන් වෙන්නේ 1946 අවුරුද්දේ. ඒ හින්දම කැලණි රජමහා විහාරයට ඒකත් දැන් ලොකූ ආලෝකයක් කියලා කියන්න පුළුවන්.
බෙලිගල තමන් රාජධානිය කරගත්තු තුන්වෙනි විජයබාහු රජතුමාගේ කාලේ තමයි කැලණිය දාගැබ අවසන් වතාවට ප්‍රතිසංස්කරණ වෙන්නේ. ධාන්‍යාකාර හැඩයක් ගන්න දාගැබේ උස ප්‍රමාණය අඩි 90ක් විතර වෙනවා. දාගැබේ වට ප්‍රමාණය ගත්තොත් ඒක අඩි 180ක් කියලයි කියන්නේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ කැලණියේ යුද හමුදා කඳවුරක් තිබුණයි කියලත් කියනවා. ඒ වගේම පොළොන්නරුව සෙල්ලිපියේ අපේ නිශ්ශංකමල්ල රජතුමා කැලණි විහාරය වන්දනාමාන කරන්න ආවයි කියලත් කියනවා. එතැනින් එහාට අපි ගියොත් සාහිත්‍යය ඇතුළෙත් කැලණි විහාරයට ලොකු වටිනාකමක් දෙනවා. විශේෂයෙන්ම මයුර, තිසර, හංස සහ සැළලිහිණි වගේම කෝකිල කියන පැරණි සිංහල සංදේශ කාව්‍යවලදි කැලණිය විහාරය ගැනත් ඒ අවට පරිසරය ගැනත් ලොකුවට කවියෙන් වර්ණනා කරලා තියෙනවා. ඊළඟට අපි කැලණිය දුරුතු මහා පෙරහැර ගැනත් යමක් කියන්න ඕනේ. මේ කැලණිය දුරුතු මහා පෙරහැර ආරම්භ වෙන්නේ 1926 අවුරුද්දේ. එදා අන්න එහෙම ආරම්භ කරපු පෙරහැර අදත් දුරුතු නැත්නම් ජනවාරි මාසයට කැලණිය විහාරයත් මූලික කරගෙන පැවැත්වෙනවා. ඉතින් ඔය කැලණියේ ඉතිහාස කතාව අඩුවක් නැතුව කීවොත් ඔන්න ඔහොමයි.
ඉතින් අපි ඉහළින් කිව්වේ කැලණිය විහාරයේ එදා කතාව. එහෙම නැත්නම් අතීතයට වැහුණු කතාව. අපි ඒක ටිකකට අමතක කරලා කැලණිය විහාරයේ මෙදා කතාව දිහා බැලුවොත්, කැලණිය කියන්නේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු බුදුන් වැඩිය පූජනීය පින්බිමක්. අන්න ඒ හින්දයි හැමදාමත් වගේ කැලණිය වැඳපුදා ගන්න දහස් ගණනින් මිනිස්සු උතුම් කැලණිය රජමහා විහාරයට එන්නේ. ඒ වගේමයි පාර දිගට මල් පහන් විකුණන අහිංසක මිනිසුන්ගේ ජීවිත කතාත් සිය ගණනක්ම ලියැවිලා තියෙන්නෙත් මේ කැලණිය පින්බිම එක්ක. ඒකත් කියන්නම ඕනේ. කොහොමින් හරි කැලණි විහාරය වැඳපුදා ගන්න අපේ මිනිස්සු අදත් එනවා. මොකද මැරෙන්න කලියෙන් එකම එකපාරක් හරි වැඳපුදා ගන්න තියෙන පින්බිමක් තමයි කැලණිය රජමහා විහාරය කියලා කියන්නේ. ඉතින් එහෙමත් කියාගෙනම ඔන්න අපි කැලණියේ කතාව මෙතැනින් අවසන් කරනවා.
රුවන් එස්. සෙනවිරත්න











