විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට ආණ්ඩුව ඇතුළෙන් යම් දේශපාලන කැපිල්ලක් මතුව ඇති ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ.
ඒ, අමාත්‍යවරයා විසින් සිදුකරමින් පවතින යම් යම් වැඩසටහන්වලින් ඒ මහතාට අත්විය යුතු ‘ලකුණු’ ආණ්ඩුවේ වෙනත් පාර්ශ්වයන් විසින් අත්පත් කරගැනීමට පියවර ගෙන තිබීම හරහාය.
මීට සති දෙකකට පමණ ඉහතදී පාර්ලිමේන්තුවේදී විපක්ෂය වීසින් ත්‍රිරෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන ලෙස කරන ලද ඉල්ලීමකදී කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් සදහන් කළේ ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, සති 2ක් ඇතුළත එම වැඩකටයුතු අවසන් කරන බවත්ය.
ඒ අනුව පැවැති සාකච්ජාවන්ට කංචන විජේසේකර, ලසන්ත අලගියවන්න සහ සාගල රත්නායක යන මහත්වරු සම්බන්ධ වී සිටියහ.
කෙසේවෙතත් ඊයේ දිනයේ හදිසියේම ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන් වූයේ ජනාධිපතිවරයා මැදිහත්ව ත්‍රිරෝද රථවලට ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට පියවර ගෙන ඇති බවකි.
නමුත් ඒ සදහා පැවැති කිසිදු සාකච්ජාවකට ජනාධිපතිවරයා සහභාගී වී නොසිටි බව දැනගන්නට තිබේ.
ඒ අනුව කංචන විජේසේකර මහතා මැදිහත්ව කළ කටයුත්තෙන් වෙනත් පාර්ශ්වයන් ලකුණු දමා ගැනීමට පියවර ගෙන ඇති බවත්, අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම කපා දමා කටයුතු කොට ඇති බවත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති බව දැනගන්නට තිබේ.