රිජ්වේ ආර්යා ළමා රෝහල ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් සමාගම්වලට ලබා දිය යුතු රුපියල් මිලියන 200ක හිඟ මුදල ලබා දෙන තෙක් එම සමාගම් නැවත ඖෂධ ලබා නොදීමට පියවර ගෙන ඇතැයි රෝහල් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රෝහලේ පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අවසර ලබා දුන්නද මුදල් නොමැති වීමෙන් ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ ඉහත සඳහන් කරුනු නිවැරදි බවය.
රෝහලට අවශ්‍ය ඖෂධ ප්‍රාදේශීය වශයෙන් මිලදී ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දුන්නද මහාභාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් කර නොමැති වීමෙන් මෙම ගැටලුව තව තවත් උග්‍ර විය හැකි යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ වන විටත් රෝහල තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය පරිත්‍යාගශීලීන් ලබා දෙන පරිත්‍යාගයන්ගෙන් සපුරා ගන්නා නමුත් ඉදිරියේදී මෙම පරිත්‍යාගයන්ගේද හිඟයක් මතුවෙමින් පවතින බව හෙතෙම පැවසීය. -ලංකාසර









