රෙද්ද හැට්ටේ ඇඳගෙන මල්ලත් කිහිල්ලෙ ගහගෙන ඇය වැඩිපුරම කළේ අනුන්ගේ ඕපාදූප සෙවීමයි. හැබැයි මෙහෙම කිව්වාම ඔබේ මතකයට විවිධ චරිත මැවෙනවා ඇති. ඒ මැවෙන චරිත අතර දයාවතී චරිතයට විශේෂ තැනක් හිමිවෙයි. ඉතින් ඒ චරිතය හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගනිමින් වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ සිනා සාගරයක් මවමින් චරිතාංග රංගන ශිල්පිනිය වූ සම්මාන ලැබූ සුසිලා කොට්ටගේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සමඟ අපි හාට් වෙනුවෙන් දොඩමලු වුණා.
සුසිලාට වඩා ගොඩ දෙනෙක් දැන හඳුනන්නේ දයාවතී කියූ සැණින්. ඉතින් ඔබගේ තොරතුරු කොහොමද?
සුසිලා කොට්ටගේ මැරී ගියත් දයාවතී ජීවමානයි. ඒ තරමට මම වාසනාවන්තියක් වුණා. මමත් හොඳින් ඉන්නවා. පසුගිය දවස්වල ටිකක් කාර්ය බහුල වෙලා හිටියේ.
ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය කෝපි කඬේ. ඒ හරහා ඔබ ලංකාවේ විතරක් නොව ආසියාවේම ජනප්‍රිය වුණා. කලා ශිල්පිනියක් ලෙසට මේ අවස්ථාවට දොර විවර වුණු විදිහ මතක් කළොත්?
ඒ කාලෙ මම වේදිකා නාට්‍යවල රඟපානවා. ඔය අතර සරණපාල ජයසුන්දර මට කිව්වා අයි.ටී.එන්. එකේ නාට්‍යයකට කැහැටු කැත කෙනෙක් හොයනවා කියලා. ගිහින් බලන්න කියලා. එහි වැඩකටයුතු කළ බර්ටි ගුණසේන සහ ඇන්ඩෲ ජයමාන්න අධ්‍යක්‍ෂවරු. මගේ ශරීර කූඩුව දැකලා දයාවතීගේ චරිතයට මාව තෝරගත්තා.
මාස 6ක් විතර මට කියන්න තිබ්බේ හාමිනේ පාන් රාත්තලක් දෙන්න. පොතට දාන්න කියන දෙබස් පෙළ විතරයි. මගේ ඒ චරිතය මම ක්‍රමක්‍රමයෙන් ගොඩනඟා ගත්තා. කෝපි කඬේ ටෙලිනාට්‍යයේ රඟපාපු හැමෝම ගැමි සුවඳින් පිරිපුන් සහෝදර ශිල්පීන් පිරිසක් තමයි සම්බන්ධ වෙලා හිටියේ. අපි අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. මම දැන් කෝපි කඩෙන් ඉවත් වෙලා අවුරුදු 15ක් විතර වෙනවා. ඉතින් සමහර විට මෙය හොඳක් වෙන්න පුළුවන්.
කැමැති නැද්ද රෙද්ද හැට්ටෙ ඇඳගෙන නැවැත කෝපි කඬේ වටේ රවුමක් යන්න?
මොකද නැත්තේ, මම කැමැතියි කෝපි කඬේ රඟපාන්න. එහෙම එපා වීමක් නැහැ. කතාව වෙනස් වීමත් එක්ක කාලයක් යද්දි මට කෝපි කඬේ එපා වුණා. නැවැත එදා ඒ තිබුණු හොඳ නිර්මාණ කතා බිහිවෙලා මට ආරාධනා කළොත් මම රඟපානවා. මොකද මම අදටත් මේ ජනප්‍රිය කිරුළ ආදරයෙන් වැලඳගෙන ඉන්නේ දයාවතී නිසා. මම දයාවතීට අඩුවක් කරන්නේ නැහැ. එතරම් ආදරය කරනවා.
සුසිලා ඔබ වේදිකාවෙන් ආපු දක්‍ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. දැන් වේදිකාවේ තොරතුරු කොහොමද?
යූ. ඩී. ශ්‍රියාරත්න කියන්නේ ඒ කාලේ දක්‍ෂතම කලා ශිල්පියෙක්. ඔහුගේ ‘නූපන් දරුවෝ’ වේදිකා නාට්‍යයේ තත්පර පහක් රඟපාලා තමයි මම උපන්නේ. පසුකාලීනව පාතාලේ සොල්දාදුවා, බයියගේ වාඩිය, මායාදේවි, බර අවි ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑවා. මොන වැඬේ නැතත් මම වේදිකාවට මුල්තැන දෙනවා. එතැන තිබෙන සුන්දරත්වය මට කියන්න වචන නැහැ.
වේදිකාවෙන් ඔබට මූල්‍ය පැත්තෙන් ලැබෙන සහාය කොහොමද?
කලාව කියන්නේ මුදල් නෙවේ. මුදල් අවශ්‍යයි ජීවත් වීමට. නමුත් වේදිකාවේ මම අවුරුදු තිහක් තිස්සේ ඉඳන් වැඩ කරනවා. එහි තිබෙන ළෙන්ගතු සහෝදර ආදර බැඳීම පුදුමාකාරයි. ටෙලිනාට්‍යවල මුදල හොයන්න දඟලනවා තමයි. වේදිකාවේ මුදලට වඩා එහා ගිය දෙයක් මම බුක්ති විඳිනවා. එය මිල කරන්න බැහැ. කෙටියෙන්ම පැවසුවොත්. සමහර අවස්ථාවල සල්ලි නැතුව රඟපානවා වේදිකාවේ. මොකද සමහර අවස්ථාවල නිෂ්පාදකවරුන්ට ප්‍රවේශපත්‍ර අලෙවි කරගන්න අපහසු වෙන අවස්ථා තිබෙනවා. වේදිකාවේ අපි එකිනෙකට බැඳිලා ඉන්නේ. අපිට අවශ්‍ය මුදලට වඩා නාට්‍ය ගොඩ දාන්නයි.
නොමැකී යන නාමය අතර දයාවතී තවමත් ජීවමානයි. මෙය ගැන සුසිලාට මොකද හිතෙන්නේ?
මම කලින් කිව්ව පරිදි තවමත් හැමෝම කතා කරන්නේ දයාවතී විදියට. රටේ හැමෝම ආදරය දක්වන්නේ ඒ චරිතයට. මාව ඉවත් කර කවුරු රඟපෑවත් මොන අභියෝග ජයගෙන ආවත් දයාවතී වට්ටන්න බැහැ. ඒ තරමට මම වාසනාවන්තියක් වී හමාරයි. මොකද අද ටෙලිනාට්‍යවල ජනප්‍රිය චරිත මවනවා. හැබැයි ඒ චරිත මතක නාට්‍ය විකාශය වන කාලපරාසයන් තුළ විතරයි. ඒත් බලන්න මම කෝපි කඬේ නැති වුණත් දයාවතී කියලා තමයි මට කතා කරන්නේ.
ඔබ අසාධාරණය වෙනුවෙන් හඬක් නඟන රංගන ශිල්පිනියක්. ඔබ එකහෙළා දකින කරුණක් තමයි කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වීම?
මට දේශපාලනය අදාළ නැහැ. මම හරි දේට කතා කරනවා. මට කවදාවත් දේශපාලනයක් එපා. මම ප්‍රසිද්ධියේ කියනවා කිසිම කලාකරුවෙක්ට ඔය දේශපාලන කිරුළු එපා. කලාකරුවෝ කිරුළු පලඳලා ඉවරයි. ඔය දේශපාලනයට ගිය කිසිම කලාකරුවෙක් කලාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ. එකම මනුෂ්‍යයයි මම දැක්කේ කලාකරුවෙක් විදියට දේශපාලනය අතට අරගෙන කරනවා. ඒ රොජර් සෙනෙවිරත්න විතරයි. ඔහු අසරණ කලාකරුවන්ට හිසට සෙවණක් සලසා දුන්නා.
ඔබ අදහස් දරන විදියට කලාකරුවා කියන්නේ සංවේදී හදවත් තියෙන පිරිසක්. එහෙම අය කොහොම දේශපාලනයේ කපටිකම් කරන්නේ?
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. කලාකරුවන්ට දේශපාලනය කරන්න බැහැ. ඔවුන් කට්ට නැහැ. ඔවුන් සංවේදී හදවත් තියෙන අය. ඔවුන්ට බැහැ දේශපාලනය කරන්න. එයට සුදුසු අය තෝරලා සම්බන්ධ කරගන්න ඕන. ඔවුන්ට දේශපාලන ඔටුනු හොඳා. දේශපාලනයේ ඉන්න අය මේ අසරණ කලාකරුවන් වෙනුවෙන් දෙයක් කරන්න. අද කලාකරුවෙක්ට කිසිම තැනක පිළිගැනීමක් නැහැ. හොස්පිටල් එකට ගිය කලාකරුවෙක් කියලා කිසිම විශේෂ පහසුකමක් නැහැ. අපේ ශිල්පියෙක් ලෙඩක් හැදුණාම අපිව බලන්න කිසිම විශේෂ පහසුකම් නැහැ. කලාව කියන්නේ හොඳම වෘත්තියක්. මේ වෘත්තිය කරන ශිල්පීන්ට ක්‍රමවේදයක් හදන්න. මෙයට තේ හදන ළමයාගේ ඉඳලා අපව හැඩගන්වන වේශ නිරූපණ ශිල්පීන් දක්වාම පවා අපේ කොටස්කරුවන්. කලාව නැති නම් මේ අයට හෙට වෙන්නේ පාරට බහින්නයි. කසිකබල් විදේශීය නාට්‍ය නවතා අපේ අයට ඉඩක් දෙන්න.
වසන්ත විතාරණගේ











