බටහිර ක්‍රමයට ජනවාරි පළමුවැනිදා නව වසර උදාවීමේදී මෙන්ම හෙළ සංස්කෘතික මංගල්‍යය වන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සිංහල අලුත් අවුරුද්දේ උදාව සනිටුහන් කරන සුබ මොහොතේදීත් එළකිරි ඉතිරවීම සිදුකරයි. එළකිරි ඉතිරවීම සිංහල මෙන්ම හින්දු සංස්කෘතියේත් ප්‍රධාන අංගයකි. මෙම කිරි ඉතිරවීම අවුරුදු උදාවේදී පමණක් නොව ඕනෑම සුබ වැඩකදී එනම් ගෙට ගෙවදීමකදී, ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සුබ මුහුර්තයකින් සිදුකරයි. වර්තමානයේ සිදුනොවුණද පුරාණයේදී නම් නිවෙසක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදීද කිරි ඉතිරවීම සිදුකළ බව පුරාණ පොතපතේ සඳහන්වේ.
කිරි ඉතිරවීම සඳහා පරණ මැටි මුට්ටියක් භාවිත නොකළ යුතු අතර අනිවාර්යයෙන්ම නැවුම් මුට්ටියක් භාවිත කළ යුතුයි. කිසිසේත්ම ඇලුමිනියම් හෝ වෙනත් ලෝහයකින් සෑදූ මුට්ටිද භාවිත නොකළ යුතුය. ළිප බැඳීමේදීද ගඩොල් කැට තුනක්ම භාවිත කරන්න. ඒ සඳහා කළුගල්, බ්ලොක්ගල්, ගෑස් ළිප් ආදිය භාවිත කිරීමෙන් වළකින්න. ළිපට දැමීමට එනම් දහනය සඳහා තෝරා ගන්නා දර විශේෂයද සුවඳ හමන කුරුඳු, සඳුන් වැනි දර විශේෂයක් තෝරාගතහොත් ප්‍රතිඵල වැඩිවේ. කිරි මුට්ටිය ළිප තබා ළිපට කටින් පිඹීම කිසිවිට නොකරන්න. පවන් ගැසීම සඳහා වෙනත් උපකරණයක් භාවිත කරන්න.
සිංහල අලුත් අවුරුද්දට කිරි ඉතිරවීමේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටුව භාවිත කළද අනෙක් සෑම සුබ කාර්යයකදීම කිරි ඉතිරවීම සඳහා සුබ මුහුර්තයක් ජ්‍යොතිෂවේදියකු ලවා සාදවාගත යුතුයි. එහිදී සුබ වේලාවක් මෙන්ම සුබ දිශාවක්ද ඉල්ලාගත යුතුයි. ඉන්පසු එම වේලාවට දී ඇති සුබ දිශාවට මුහුණලා කිරි මුට්ටිය තබන්න. මෙම කාර්ය කරන තැනැත්තා සුදු වතින් සැරසී සිටීම ඉතා සුබය. කිසි විටකත් කිරි ඉතිරවීමේදී වෛවර්ණ වස්ත්‍රයක් ඇඳීමෙන් වළකින්න.
කිරි ඉතිරවීම සඳහා අංක එකටම භාවිත කරනුයේ එළ ගව කිරිය, ඊට අමතරව මී ගව කිරි, බැටළු කිරි, ඔටු කිරි, එළු කිරි, ඇත් කිරි, මව්කිරි හා අශ්ව කිරි 7 වර්ගයද භාවිත කරයි. දොවාගත් එළ කිරි හත් වරක් පෙරා නැවුම් මුට්ටියකට දමා ළිප තබා ඉතිරවීම සිදු කරයි. දෙවනුව නැවුම් එළ ගව කිරි සොයා ගැනීමට අපහසු නම් වෙළෙඳපොළේ විකිණීමට ඇති කල්කිරි භාවිතය සඳහා යොදාගන්න.
කිරි ඉතිරීම සඳහා එළ කිරිම භාවිතයට ගන්න යැයි සඳහන් වනුයේ එළකිරි වල කිසිසේත් ලේ මිශ්‍ර බවක් නොමැති වීමත්, විෂබීජ නාශක ශක්තියත්, අදෘශ්‍යමාන දෝෂ නාශක බලයත් නිසාය. මෙම කිරි ඉතා පිරිසුදු අතර ඖෂධීය ගුණයෙන්ද ප්‍රබලය. එළගව කිරි ඉතිරවීමෙන් ලක්‍ෂ්මී දේවියගේ හෙවත් ශ්‍රියාකාන්තාවගේ බැල්ම වැටෙන බව ඍෂි විශ්වාසයයි. ලක්ෂ්මී දේවියගේ ආශීර්වාදය හේතුවෙන් එම නිවෙසේ නිවැසියන්ගේ හා එම නිවෙස් ඇති සියලු දෝෂ භංග වී සෞභාග්‍යය උදාවනු ඇත.
එළකිරිවල ලේ මිශ්‍ර වී ඇතැයි අනවශ්‍ය බියක් ඇතිකර ගනිමින් ඇතැම් ජනයා සුබ වැඩකටයුතු සඳහා පොල් කිරි ඉතිරවීම සිදු කරනු දැකිය හැක. සුබ කාර්යයකදී මෙන්ම අවුරුදු උදාවේදී පොල් කිරි ඉතිරවීම ඉතා අසුබය. මෙහිදී පොල්කිරි ඉතිරෙන විට වහනය වන සුවඳට ඉතා ඇලුම් කරනුයේ ලක්ෂ්මී දේවිය නොව සොහොන් කාලී හෙවත් මංගර යක්ෂණියයි. එනිසා පොල් කිරි උතුරවන අයට සොහොන් කාලියගේ ඇල්ම බැල්ම වැටීම සිදුවේ.
පුරාණයේ සිටම පහතරට ජනයා, ධීවර ජනයා, අහිකුණ්ඨික ජනයා, තට්ටු නිවාසවල වෙසෙන ජනයා හා ගෝත්‍රික ජනයා මෙන්ම පැල්පත්වාසීන්ද පොල්කිරි උතුරවනු දැකිය හැකිය. ඒ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම දිළිඳු බව නිසාය. පොල් කිරි ඉතිරවීම සිදුකරනුයේ අසුබ කටයුතු සඳහාය. විශේෂයෙන් මළ ගෙවල්වල සිදු කරනු ලබයි. මෘත දේහය සොහොනට ගෙන ගිය පසු එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කර ළිපක් බැඳ පොල් කිරි ඉතිරවීම සිදු කරයි. මෙසේ කර මංගර යක්ෂණිය හෙවත් සොහොන් කාලිය සතුටු කරයි.
කිරි ඉතිරවීමේදී කිරි පුරවා ළිප මත තබන මුට්ටිය පැතිවලට ඇල නොවී සමාන්තරව සමබරව තැබිය යුතුයි. නොඑසේ නම් මුට්ටිය ඇල පැත්තට කිරි ඉතිරවීම සිදුවේ. එහිදී සුබ අසුබ ප්‍රතිඵල ලබාගත නොහැක. කිරි උතුරන විට ගින්දර හොඳින් තිබිය යුතුයි. ළිප නිවුණේ නම් හෝ ගින්දර අඩු වූයේ නම් කිරි ඉතිරීම පරක්කු වනු ඇත. නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇත. කිරි ඉතිරෙන තුරු හොඳින් ගින්දර ලබා ගැනීම සඳහා ළිපට දමන දර, හනසු ආදිය පෙරදින භූමිතෙල්වල පෙඟෙන්නට තබන්න. එම දර, හනසු, පොල්කටු ආදිය දහනය සඳහා යොදාගන්න.
කිරි ඉතිරවීමේදී මුට්ටිය හතර වටින්ම කිරි උතුරා යෑම ඉතා සුබ ලක්ෂණයකි. එම අවුරුද්දේ ඉතිරි කාලය එම ගෙහිමියන්ට ඉතා සුබපල අත්වී සෞභාග්‍යය ගෙනදෙනවා සේම කිරි ඉතිරවීමට විශේෂ කාරණයක් මුල්වූයේ නම් එම කාරණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වනු ඇත. තුන් පැත්තකින් හෝ දෙපැත්තකින් කිරි ඉතිරීමද සුබය. නමුත් එක පැත්තකින් කිරි ඉතිරීම හෝ කිරි උඩට විත් නොඉතිරීම ඉතා අසුබය. මෙහිදී එක් පැත්තකින් කිරි ඉතිරීමටත් වඩා කිරි නොඉතිරීම ඉතා අසුබය.
කිරි ඉතිරීමේදී එසේ වුවහොත් එම අවුරුද්ද එහි ගෙහිමියන්ට ඉතා අසුබදායක, අපලදායක එකක් බව වටහාගෙන නිතර ආගමානුකූලව බෝධිපූජා ආදිය තබා දානමාන ආදිය දී දැහැමිව කල්ගත කළ යුතු බව තරයේ සිත තබාගන්න.
අලුත් අවුරුද්දට හෝ විශේෂ කාරණයක් සඳහා කිරි ඉතිරවීමෙන් පසු ඉතිරි වී ඇති කිරි මිදුලේ ඇති ගසක් මුලට වක්කර මුට්ටිය සෝදා ගෙට ගැනීම සිදු කරයි. නමුත් ගෙට ගෙවදීමකදී කිරි ඉතිර වූ පසු ඉතිරි කිරි සහිත මුට්ටිය වී මිටක්, අඹ ඇට ස්වල්පයක්, තල, උඳු, මුං, මෑ, ඕළු, නෙලුම් ආදියෙන් ඇට ස්වල්පය බැගින් දමා ලුණුද දමා කලවම් කර මුට්ටියේ කට සුදු රෙදි කැබැල්ලකින් ගැටගසා මුදුන් යට ලීයේ එල්ලීම සිදු කරයි.
ලබන්නා වූ නව වසරේදී ක්‍රමානුකූලව, හරියාකාරව එළකිරි උතුරවා ඔබට හා ඔබගේ පවුලේ සැමට ඇති වස්දොස්, අමනුෂ්‍ය දොස්, ඇස්වහ, කටවහ, හෝවහ දොස් දුරු කර සතුට, සෞභාග්‍ය, දියුණුව, වාසනාව ළඟාකර ගන්න.
සුබ නව වසරක් වේවා.
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී











