මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ දිනයේදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන්ට පැවැත්වූ දේශනය මහා ගාලගෝට්ටියකින් අවසන්ව ඇති බව වාර්තා වේ.
මෙම දේශනයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැතිඇමැතිවරුන්ද සහභාගීව සිටි අතර ප්‍රශ්න වටය ආරම්භ කිරීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව ඇති බව දැනගන්නට තිබේ.
එහිදී මුලින්ම නන්දලාල් වීරසිංහ මහතා තමන් අධිපති ධූරය බාරගන්නා විට මහබැංකුවේ තිබූ ඩොලර් සංචිතය මිලියන 200 දක්වා පහත වැටී තිබූ බව සදහන් කොට ඇත.
නමුත් එම ප්‍රකාශය පිළිබද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කොට විමසා ඇත්තේ පසුගිය කාල වකවානුවේ පාර්ලිමේන්තුවට බාරදුන් කිසිදු මහබැංකු වාර්තාවක එවැනි සදහනක් නොතිබූ බවකි.
පාර්ලිමේන්තුව මුදල් පිළිබද වගකිවයුතු ප්‍රධාන ස්ථානය වුවද මෙවැනි සදහනක් පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම බරපතළ තත්ත්වයක් බවද එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කොට තිබේ.
කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා හා මහබැංකු අධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර පසුව කිරිඇල්ල මහතා නැගිට රැස්වීමෙන් පිටව ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ හර්ෂ ද සිල්වා මහතා අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් තත්ත්වය තවත් උණුසුම් වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ, මෙවැනි ආර්ථික අර්බූදයක් ඇතිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙන්ම තමන් ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ දිගින් දිගටම කියා සිටියද මහබැංකුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමගය.
එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සදහන් කොට ඇත්තේ විපක්ෂය එවැන්නක් සිදු නොකළ බවකි.
ඊට හර්ෂද සිල්වා මහතා පිළිතුරු දීමත් සමග දැඩි උණුසූම්කාරී තත්ත්වයක් රැස්වීමේ හටගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව හර්ෂ ද සිල්වා මහතාද ‘අපිට ජනාධිපතිවරයා නිතරම ආණ්ඩුවට එක්වෙන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙහෙම හැසිරෙද්දි අපි කොහොමද ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ’ යැයි කියමින් රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.








