මේ දවස්වල ශ්‍රී ලංකාවට කිරුළු වැසි වස්සන කාලයක් උදාවෙලා. එය අපි හැමෝටම ආඩම්බරයක්. පසුගිය දවස් කිහිපයේ ලංකාව නියෝජනය කරමින් නිරූපිකාවන්, රංගන ශිල්පීන්, ඒ විතරක් නෙවේ ජාත්‍යන්තරයත් එක්ක තරග කළ චිත්‍රපටද සම්මාන දිනා ගත්තා. ඒ තරමට ශ්‍රී ලංකාවේ දක්‍ෂ පිරිසක් ඉන්නවා. බාධක කම්කටොලු මැද පසුගියදා ආසියානු රටවල් සමඟ තරග වදිමින් Mrs. Asia International කිරුළ දිනාගන්නට සමන්තිකා කුමාරසිංහ සමත් වුණා. ඒ සතුට දෝර ගලමින් තිබෙන මොහොතක ඇය අප සමඟ දොඩමලු වුණේ මේ විදියට.
මුලින්ම අපි සමන්තිකාගේ පාසල් ජීවිතය ගැන කතා කරමුද?
මම පාසල් තුනකම අධ්‍යාපනය හැදෑරුවා. ප්‍රාථමික අංශයෙන් වේයන්ගොඩ සෙන්මේරිස් පාසලෙන් ශිෂ්‍යත්වය සමත්වෙලා සංඝබෝධි ජාතික පාසලේ අධ්‍යාපන කටයුතු හදාරලා උසස් අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ බණ්ඩාරනායක මහා විද්‍යාලයට ගියා.
පාසලේදී ලැජ්ජ බයට හැදුණු ගැහැනු ළමයෙක් කියලා කියන්නෙ ඇත්තද?
ඇත්තටම පාසලේදී මම එහෙම දඟලපු ළමයෙක් නෙවේ. ගෙදර තිබුණ පරිසරයත් මම හැදී වැඩුණු පරිසරයත් එයට බලපාන්න ඇති. පාසලේදී මම තූර්යවාදක කණ්ඩායමටත්, පාසලේ ක්‍රීඩාවටත් සම්බන්ධ වෙලා කටයුතු කළා.
නිරූපණ ක්‍ෂේත්‍රයට සමන්තිකා ආවේ ලොකු කට්ටක් කාලා. ගෙදරට හොරා කට්ටි පැනලා කියලත් ආරංචියි?
ඇත්තටම එය ගැන මතක් වෙද්දි වෙලාවකට බයකුත් හිතෙනවා. මට නිරූපණ ක්‍ෂේත්‍රයට එන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි ඉතින් ගෙදරින් දාපු දෝස්මුරය නම් නතර වුණේ නැහැ. මම උසස් අධ්‍යාපනය කරලා අවසන් වෙලා කොළඹ පාඨමාලාවකට ගියා. ඔය අතර තමයි සමන්ත ගුණසේකර මහතා යටතේ සහ වාසනා දන්තනාරායන යටතේ නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරුවේ.
පාසලේදී හොඳට හිටිය ළමයා නිරූපණ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කාපු කට්ට ගෙදරට මාට්ටු වුණේ නැද්ද?
මම ඉතින් කොළඹ පාඨමාලාවට යනකොට පාඨමාලාව අවසන් වෙන වෙලාව නෙමේ කියන්නේ. නිරූපණ පන්ති අවසන් වෙන වෙලාව තමයි කියන්නේ. කොහොම හරි දෙක බැලැන්ස් කරගෙන දෙකම ගොඩදාගත්තා. යාළුවෙක්ගේ ගෙදරකට ගිහින් හොරෙන් ඇඳුම් තියාගෙන තමයි මම ඉගෙන ගත්තේ. හවස ගෙදර ආපුවහම සමහර අවස්ථාවල මාට්ටුවෙන්න ගිය අවස්ථා තිබුණා මගේ මුහුණේ මේකප් නිසා.
කට්ට කාලා කොහොම හරි සමන්තිකා ශ්‍රී ලංකාවට ගෞරව නාමයක් ගෙනාවා. ඒ ගැනත් මතකය අවදි කරමුද?
ඇත්තටම මම ලංකාවෙන් ගියේ ලංකාවට මොනවා හරි ගෞරව නාමයක් ගේනවා කියලා හිතාගෙන තමයි. ඒත් මම හිතුවේ නැහැ ඵරිග ්ිස් ෂබඑැරබ්එසදබ්ක කිරුළ මට දිනාගන්න ලැබෙයි කියලා. ආසියාවේ හොඳම නිරූපිකාවන් මමත් එක්ක තරග කළා.
මියන්මාර් වගේ විදේශීය රටකට ගිහින් ඒ ලබපු අත්දැකීම් කොයි වගේද?
අත්දැකීම් නම් ගොඩාක් අත්වින්දා. මියන්මාර් රටේ හැම තැනම පන්සල්, වෙහෙර, විහාර තමයි වැඩිපුර දකින්ට ලැබුණේ. අනෙක ලංකාවේ වගේ මිනිසුන් වර්ගීකරණයක් නැහැ. හැමෝම එකම ජාතික ඇඳුමකින් තමයි හැඩවෙලා ජීවත් වෙන්නේ. හරිම එකමුතුතාවක් මම දැක්කා. තව දවස් ටිකක් ඉඳලා එන්න තිබ්බ නම් හොඳයි කියලා හිතුණා.
ඔබ කාලයක් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදියට වැඩකටයුතු කළා නේද?
මැක්ස් රූපවාහිනි නාළිකාවේ නිෂ්පාදනය කළ සයිලො නා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකෙන්ම මට එපා වුණා. පුදුම කට්ටක් කෑවේ. පාන්දර ගෙදරින් යනවා, රෑ දෙගොඩ හරියේ රූපගත කිරීම් ඉවර වෙන්නේ. පසුකාලීනව මම රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතු කළා. විවාහයෙන් පස්සේ මම පවුලට මුල් තැන දෙන්න ඕනා කියලා නිර්මාණවලින් ඈත්වෙලා තමයි හිටියේ.
ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් පවසන දෙයක් තමයි කවුරු වුණත් කිරුළක් ගත්තාම රැජනක් වගේ තමයි ඉන්නේ කියලා. ඔබත් එහෙමද?
අයියෝ කවදාවත් නැහැ. මම කිරුළ ගත්තේ ලංකාව වෙනුවෙන්. ඒක ගත්තා ඒක ඉවරයි. මම සාමාන්‍ය ජනතාව එක්ක තමයි ජීවත් වෙන්නේ. අනෙක ගොඩ දෙනෙක් කියනවා මම ගොඩාක් නිහතමානී කෙනෙක් කියලා. ඉතින් මට කවදාවත් මුල අමතක වෙන්නේ නැහැ. මැරෙනකල්ම මේ නිහතමානීකම තියේවි.
වසන්ත විතාරණගේ











