සිවිල් සංවිධාන හරහා දේශපාලනයට පිවිසි පාඨලී චමිපික රණවක යනු ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේද නම කියැවුණු අයෙකි. සිහල උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පාඨලී චම්පික රණවක ප්‍රධාන දේශපාලන දහරාවට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහාය. දේශපාලනයේ නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටින පාඨලී චම්පික රණවක ආණ්ඩු හදන සහ ආණ්ඩු පෙරළන බලවේගයක් බවට පත්වන්නේ බලගතු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්කරමින් මෛත්‍රීපාල රජකරවමින් යහපාලන ආණ්ඩුවක් බිහි කිරීමත් සමගිනි. යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ පාඨලී චම්පිකගේ නම ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉහළින් සටහන්ව තිබුණකි. එහෙත් ඔහු අපේක්ෂක සටනින් ජය ලැබුවේ නැත. එම අවස්ථාව හිමිවන්නේ ඔහු නියෝජනය කළ කඳවුරේ සිටි සජිත් ප්‍රේමදාසටය. ජනාධිපතිවරණ ප්‍රතිඵලයන්ට අනුව සජිත් පරාජය වී ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවේ අසුන් ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවන විට අගමැති මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසට යාබද නිවසේ ජීවත් වූ පාඨලී සෙසු ඇමතිවරුන්ට පෙර එම නිවස රජයට භාරදෙමින් බත්තරමුල්ලේ ජයන්තිපුර පිහිටි නිවසට යන්නේ සැමට කලින් සියල්ලන්ටම ආදර්ශයක් දෙමිනි. පාඨලීගේ හැටි එසේය.
පාඨලීට එරෙහිව දැන් එල්ලවී ඇති චෝදනාව වන්නේ තරුණයකු වාහනයක හප්පා ඒ ගැන පොලීසියට වාර්තා නොකර පළාගොස් රියදුරු ලෙස වෙනත් පුද්ගලයෙක්ව ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවකි. එම රිය අනතුර සිදුවන්නේ 2016 වසරේ පෙබරවාරි 29 වෙනිදා රාජගිරියේදීය. අනතුර සිදුවන්නේ මාර්ගයේ ගමන්කරමින් තිබුණු ජිප් රථයක් පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙනි. එම යතුරුපැදිය මෙරට ලියාපදිංචි කිරීම තහනම් කර ඇති ධාවන තරග සදහා භාවිතා කරන වර්ගයේ එකකි. යතුරුපැදියේ අධික වේගය අනතුරට මුල්වූ බව බැලූ බැල්මටම පෙනී ගියේය. යතුරුපැදිය ගැටුණු ජිප් රථය නාගරික සංවර්ධන අධීකාරියට අයත් වූවකි.
මේ ගැන එකල විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ දේශපාලනයන් පාඨලීගේ නම පතුරු ගැසුවේය.

එදා පාඨලී පැදවූයේ යැයි කියන ජිප් රථයේ ගැටෙන යතුරු පැදියේ දෙදෙනෙක් ගමන් කරමින් සිටියේය. පැදිකරු සංදීප් සම්පත්ය. පසුපැදිකරු මනුල මිස්සුලය. අනතුරින් බරපතළ තත්වයකට පත්වන්නේ සංදීප්ය.
සංදීපගේ අනතුර නැවතත් ඇවිස්සෙන්නේ ඉකුත් සතියේදීය. පොලීසිය හරිම වේගවත්ය. පරීක්ෂණ භාරකෙරෙන්නේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීමක්ද ලබා ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුට හිමිවිය යුතු බස්නාහිර පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්වන දේශබන්දු තෙන්නකෝන්ටය. ඔහු බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානී තතුරට පත්වීමත් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ඊට මාස කිහිපයකට පෙර ස්ථාන මාරුවීමක් ලබා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වාව නැවතත් කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ගත්තේය. ඒත් එක්කම බම්බලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි අජිත් මෙත්තානන්දවද කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කළේය. අනතුරුව සංදීප්ගේ අනතුර සම්බන්ධයෙන් විමර්ශන භාරදෙන්නේ ඒ අයටය.

මෙහිදී පැරණි ලිපිගොනු අවුස්සා අනතුර සම්බන්ධයෙන් බොහෝ තොරතුරු රැස්කර ගන්නා එම පොලිස් නිලධාරීන් දිලුම් කුමාර නම් වූ අමාත්‍යාංශ රියදුරුවද සොයා ඔහු පදිංචිව සිටි ගාල්ල ඉමදූවේ නිවසටද ගියේය. මහා රෑ යකුන් ගස් නගින වේලාවේ එහි යන්නේ පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්දය. ඒ යන ඔහු මහා රෑ දිලුම්ගේ බිරියත්, දරුවනුත් සමග කොළඹට එන්නේ දිලුම් නිවසේ නොසිටි බැවිනි. නැවතත් ඒ අයව උදෑසන නිවසටම ගොස් ඇරලවන්නේ කරන්නට ගිය වැඬේ නිසි ලෙස ඉටුවීමෙන් අනතුරුවය. දිලුම්ගේ බිරිය සහ දරුවන් මහා රෑ පොලීසියේ කණ්ඩායමක් විසින් දිලුම් වෙනුවට කොළඹට රැගෙන ඒම දේශපාලන කේෂ්ත්‍රය කළඹන්නක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය. විපක්ෂයේ දේශපාලනඥයන්ගේ දැඩි වාග් ප්‍රහාරයන්ට එය ලක්වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ පාර්ශවයෙන් කියැවෙන්නට වූයේ සිය කැමැත්තෙන් ඒ අය කොළඹට පැමිණි බවකි. ඒ බව දිලුම්ගේ පවුලෙන්ද ප්‍රකාශ වන්නට වූයේ යම් කුතුහලයක්ද දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිකරවමිනි.
පොලීසියේ මේ හැසිරීම පාඨලී චම්පිකට එතරම් ඇල්ලුවේ නැති තරම්ය. තමා නිවැරදි බව ඔහු මාධ්‍ය හමුවක්ද පවත්වමින් සඳහන් කරන්නේ ඒ අනුවය. ඔහුගේත් රියදුරු දිලුම් කුමාරගේත් විදෙස් ගමන් තහනම් කිරීමට පවා අධිකරණය පියවර ගන්නේ ඒත් එක්කමය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉල්ලීමට අනුවය.
සියල්ල සිදුවන්නට වූයේ යම් සැලසුමකට අනුවය. රට ගමන් තහනම ඉවත්කර ගැනීමට පාඨලී චම්පික අධිකරණයට ගියද ඔහුට ඒ සඳහා අවස්ථාවක් නොවීය. සිදුවන්නේ එන හැටියට මුහුණ දෙන්නටය. අනතුරක සේයාවක් පාඨලීට දැනෙන්නටද ගත්තේය. 18 වෙනිදා උදෑසනින්ම මහනුවර බලා ඔහු පිටත්ව යන්නේ එබැවිනි. ඒ තමන්ව හිරකිරීමට ආණ්ඩුව සූදානම් වන බවට මහ නායක හිමිවරු දැනුවත් කරමින් වසර තුනකට පෙර සිදුවූ රිය අනතුර ගැන කියන්නටය.
මහනාහිමිවරු මුණ ගැසී සිත සැහැල්ලුකර ගෙන පාඨලී චමිපික කොළඹට එන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙසින් සිටින්නේ නීතිපතිවරයා මුණ ගැසීමට ගොසිනි. ඒ පාඨලීව අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලබා ගන්නටය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එතෙක් කළ විමර්ශනයන්ට අදාළ උධෘතයන් පරීක්ෂාවට ලක්කළ නීතිපතිවරයා විසින් පාඨලීව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දෙන්නේ අනතුරක් කර පළා යාම සහ රියදුරු මාරු කිරීම සහ අධිකරණය නොමග යැවීම යන වරදවල්වලටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නෙවිල් සිල්වා විසින් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පාඨලීගේ බත්තරමුල්ලේ නිවසට යන්නේ එදින සවස 6.30ට පමණය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධීකාරී නන්දන ඇතුළු පොලිස් කණ්ඩායමක්ද සමගිනි. පාඨලීද මහනුවර සිට පැමිණෙන්නේ ඒ අතරතුරදීය. ඔහුට මුහුණක් කටක්වත් සෝදා ගැනීමට ඉඩක් නොවීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණේය. ඒත් එක්කම නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වන නීතීඥ නිහාරා ජයරත්න මාධ්‍යට දැනුම් දීමක් කරන්නේ පාඨලීව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී ඇති බවය.

මාධ්‍යවල උණුසුම් පුවත බවට එය පත්වන විට පාඨලී චම්පික ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් කණ්ඩායම සමග වාදයකට පැටලෙන්නේ තමාව අත්අඩංගුවට ගැනීමට පැමිණි ක්‍රමවේදය නීතියට පටහැනි බවටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමාව අත්අඩංගුවට ගැනීමට එන විට කථානායක දැනුම්වත් කර පැමිණියේදැයි එහිදී පාඨලී පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශන කළේය. ඊට එම නිලධාරීන්ට පිළිතුරු නොවීය. ඔවුන් අත වූයේ නීතිපතිවරයාගේ උපදෙස පමණි. අවසානයේදී පාඨලී චම්පිකට සිදුවූයේ අකැමැත්තෙන් වූවත් සිය නිවසට කඩාවැදී සිටි පොලිස් කණ්ඩායමේ අණට කීකරු වන්නටය. ඒ අනුව පාඨලී සිය මෝටර් රථයේ නැගී පොලිස් ආරක්ෂාවක් සහිතව කොළඹ අපරාධ කොට්ඨාසයට එන්නේ සිය පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් පොලීසිය එල්ලවෙමින් තිබියදීය. ඒ අවස්ථාවේදී මුලින්ම පාඨලීගේ නිවසට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාය. ඔහුද පාඨලීගේ අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින අතර එය ඔහු සලකන්නේ දේශපාලන දඩයම් කිරීමක් බවය.
පාඨලීව කොළඹ අපරාධ කොට්ඨාසයට එසේ රැගෙන ගොස් විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් බත්තරමුල්ලේ පිහිටි නිවසට එන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහය. ටික වේලාවක් ඔහු නිවසේ රැඳී සිට පිටව යන විට සජිත් ප්‍රේමදාස මහතා හිටපු මැති ඇමතිවරු රැසක් පිරිවරාගෙන දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපිටට යන්නේ පාඨලීව නිදහස් කරන ලෙස විරෝධයක්ද දක්වමිනි. ඒ හඬට කන්දෙමින් පාඨලීව නිදහස් කරනවා වෙනුවට සිදුවන්නේ මහා රෑම පාඨලීව අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමය. වසා තිබුණු අධිකරණ විවෘත කරමින් මහේස්ත්‍රාත්වරියවද අධිකරණයට ගෙන්වමින් මහා රෑ පාඨලීට එරෙහිව නඩු ඇසුවේය. අධිකරණයේ තීන්දුව පාඨලීව පසුදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකි.
රිය අනතුර කර පළායාම් අපේ රටේ කොතෙකුත් සිදුවන්නකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ශ්‍රී රංගා ද සෙට්ටිකුලමේදී රිය අනතුරක් කර පොලිස් නිලධාරියෙක් එම අනතුරින් මිය ගිය පසු රියදුරාව මාරු කළේය. ඒ මිය ගිය පොලිස් නිලධාරියා රියදුරු බවට පත්කරමිනි. ඒ ගැන නැවත විමර්ශනයක් සිදුවන්නේ මිය ගිය පොලිස් නිලධාරියාගේ බිරිද විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවය. එම විමර්ශනයේසදී ඇත්ත එළියට ආවේය. නීතිපතිවරයා විසින් ඒ ගැන විමර්ශනයක් පවත්වන ලද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දෙන්නේ ශ්‍රී රංගා සහ රියදුරු මාරුකරමින් පොලිස් පොත් වෙනස් කළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය. එම නියෝගය නිකුත් වී දින කිහිපයක් යන තුරුම පොලීසියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට උවමනාවක් නොවීය. ශ්‍රී රංගා සහ පොලිස් නිලධාරීන් වව්නියාව අධිකරණයට ගොස් ඉදිරිපත් විය. එහිදී අධිකරණය විසින් ඒ අයට මුදා හරින්නේ ඇප මතය.
ශ්‍රී රංගාගේ රිය අනතුර මෙන් නොව, පාඨලීගේ නම කියැවෙන රිය අනතුරින් කිසිවෙකුත් මිය යන්නේ නැත. අනතුර සිදුවන්නේ ජීප් රථයේ පස්සෙන් පැමිණ ගැටීමෙනි. මේ නිසාම පාඨලී මෙන්ම ඔහුගේ නීතීඥයින් සිතන්නේ 19 වෙනිදාට ඇප ලැබේවි යැයි කියාය. එහෙත් සිදුවන්නේ බලාපොරොත්තු නොවූ ආකාරයට පාඨලීව ලබන 24 වෙනිදා වන තුරු බන්ධානාගරගත වීමකි. ඒ එදා විශේෂයෙන් නීතිපතිවරයා වෙනුවෙන් අධීකරණය හමුවේ පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එම අනතුර සම්බන්ධයෙන් විශේෂයෙන් කරුණු කියන්නට වූ බැවිනි. ඊට අනුව පාඨලීව පෙර දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේද දැඩි පරිශ්‍රමයක් දරාය. අනතුරට ලක්වුණු ජිප් රථය ආණ්ඩුවේ දේපොළකි. එය විදුලි බල මණ්ඩලයට අයත්ය. අනතුරින් ඊට සිදුව ඇති හානිය ලක්ෂ 15 කි. අනතුර සිදුවන්නේ තරුණයාගේ වරදින් නම් ජිප් රථය ඔහු මගින් අලුත්වැඩියා කර නොගෙන ආණ්ඩුවේ මුදලින් අලුත්වැඩියා කළේ ඇයිදැයි දිලීප පීරිස් අධිකරණයේදී ප්‍රශ්නයක් මතුකරන්නේ පොදු දේපොළ පනතින්ද පාඨලී වරදකරුවෙක් වන බවට ඉඟියක් කරමිනි.
එදා ජිප් රථයේ සිටි රියැදුරා තමන් පාඨලී චමිපික ලෙස සදහන් කළ බවට අනතුරින් තුවාල ලැබූ තරුණයින්ගේ මිතුරන් දෙදෙනකු විසින් දිවුරුම් ප්‍රකාශයන් පවා ලබාදී ඇතැයි එහිදී අධිකරණයට කරුණු දක්වන දිලීප පීරිස් එම අනතුරින් පාඨලීගේ නම ඉවත්කරන්නේ එවකට බස්නාහිර පොලිස් ප්‍රධානියාව සිටි පූජිත් ජයසුන්දරගෙන් වැලිකඩ පොලීසියට ලද උපදෙස්වලට අනුව බවද කියන්නට විය. දිලීප පීරිස්ගේ දීර්ඝ කරුණු දැක්වීම්වලින් අනතුරුව විනිසුරුවරිය තීන්දු කරන්නේ පාඨලීව රක්ෂිත බන්ධනාගර ගත කරන්නටය.
ඒ අනුව පාඨලී චම්පික රැගෙන යන්නේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ‘එම්’ සිර වාට්ටුවටය. එහි රාජකාරි සඳහා ජේලර්වරයකු යෙදවීමටද බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.
මේ සියල්ල අතරවාරයේ චම්පික වෙනුවෙන් පෙනී සිටීමට මුළු එජාපය තීරණය කර තිබීම විශේෂ සිදුවීමක් විය. පසුගිය කාලයේදී එජාපය නායකත්ව ප්‍රශ්න මුල්කරගෙන බෙදී වෙන්ව සිටියද චම්පිකගේ මේ සිදුවීමත් සමඟ දෙකට බෙදුණු එජාපය එක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව චම්පික අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යෑමෙන් පසුව චම්පිකට සහාය දක්වමින් එහි පැමිණ සිටියවුන් අතර සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, එස්.එම්. මරික්කාර්, හර්ෂද සිල්වා, රංජිත් අළුවිහාරේ වැනි මන්ත්‍රිවරුන් දැකගන්නට ලැබිණ. මීට අමතරව ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කිරීමේදීද එජාපය නියෝජනය කරමින් විශාල මන්ත්‍රිවරුන් පිරිසක් මෙන්ම පාක්ෂිකයන් පිරිසක්ද අධිකරණ භූමියට රැස්ව සිටින ආකාරයක්ද දැකගන්නට ලැබිණ. එසේම එදින එජාප මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඊට අකිල විරාජ්, රෝහිණී කවිරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී. අලවතුවල, චන්ද්‍රාණි බණ්ඩාර, තලතා අතුකෝරල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කරුණාරත්න පරණවිතාන යන මන්ත්‍රිවරුද සහභාගිව සිටියහ. ඔවුන් සියලුදෙනාම එහිදී කියා සිටියේ චම්පිකට එරෙහිව ආණ්ඩුව දේශපාලන පළිගැනීමක නිරතව සිටින බවත්, මෙම මර්දනය දැඩි ලෙස හෙලාදැකීමට කටයුතු කරන බවත්ය.
කෙසේ වෙතත් එදිනම ආණ්ඩුව නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ එහි කිසිදු දේශපාලන පළිගැනීමක් නොමැති බවත්, නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමක් පමණක් සිදුව ඇති බවත්ය.
එසේ තිබියදී එජාප මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ මන්ත්‍රි වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව හැඟෙන බැවින් ඒ ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය. අදාළ පරීක්ෂණයට අමතරව කතානායකවරයා හමුවී සාකච්ඡා කළ යුතු බැවින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි පිරිසට සාකච්ඡා කිරීම සඳහා වේලාවක් දෙන ලෙසද ආශු මාරසිංහ මහතා සිය ලිපියෙන් ඉල්ලා සිටිනු දැකගත හැකි විය.
ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදී කතානායක කරු ජයසූරිය මහතාද විශේෂ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගත්තේය. එහිදී කතානායකවරයා සඳහන් කර තිබුණේ චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවත්, එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමට භයානක පෙරමිනිත්තක් බවය.
කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
2019.12.18 දින රාත්‍රීයේදී, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යයි.
පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් තීරණ මඟින්ද අවධාරණ කර ඇති බව 2015.03.03 දින 232/12 සහ 2015.04.21 දින 234/6 හැන්සාඞ් වාර්තා තුළින් පැහැදිලි වේ.
වත්මන් කථානායක කරු ජයසුරිය මැතිතුමා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය ධූර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත.
විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැණින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කනගාටුවට කරුණකි.
කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිම රජයක පැහැර හල නොහැකි වගකීමක් වන අතර එහිදී නිතියට ගරු කිරිමට සියලු පුරවැසියන් බැඳි සිටින බවට කිසිදු විවාදයක් නොමැත.
නමුත් එහිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරිම, ප්‍රජානත්ත්‍රවාදි පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරිමක් පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක භයානක පෙර නිමිත්තක් බවද පෙන්වා දෙමු.










