අමතක වූ යමක් සමාජයට මතක්කර දෙන, ‘ලන්සුපතිනියෝ’ ආලින්දයේ සිනමාව හරහා ප්‍රේක්ෂක සිත් තරණය කරන්නට පටන්ගත්තේ ඉතා මෑතකදීය. සූරාකෑමට ලක්වන පතිනියන් ගැන අගනා පණිවුඩයක් ලෝකයා හමුවේ තබන ‘ලන්සුපතිනියෝ’ ඇත්තෙන්ම මඟ නොහැර නැරැඹියයුතු හොඳ මට්ටම් ටෙලියක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ‘ලන්සුපතිනියෝ’ නිර්මාණය ගැන තව තව තොරතුරු සොයන්නට, කතාබහ කරන්නට අප සිත් නොඉවසිලිමත් කළේද ඒ පිළිගැනීමටය. ආරංචියේ හැටියට නම් ‘ලන්සුපතිනියෝ’ විකාශනය වන වෙලාවට ප්‍රේක්ෂකයයෝ ආලින්දයට එකතු වෙති. නොසිතූ ලෙස එයට කදිම ප්‍රතිචාරද ලැබෙමින් පවතී. ඒ ආරංචිය අපට දුන්නේ ‘ලන්සුපතිනියෝ’ නිෂ්පාදක සාරංග දිසාසේකරය. බොහෝ කාර්යබහුලව සිටි සාරංගව ‘හාට්’ වෙත කැඳවාගෙන එන්නට අප ගත් වෑයම මෙසේ ඔබ වෙත අකුරු කරමු.
‘ලන්සුපතිනියෝ’ නමත් වෙනස්. කතාවත් වෙනස් එහෙම නේද?
ඔව්. වෙනස් යමක් කිරීමේ ආසාව සහ උනන්දුව මා තුළ තිබුණේ බොහෝ කාලයක ඉඳලමයි. හා හා පුරා කියා ඒ සඳහා ගත් ආරම්භය තමයි මේ.
ආරම්භය සුබදායක බවයි ආරංචි සාරංග?
ඇත්ත වශයෙන්ම ආරම්භය හිතුවට වඩා සතුටුදායකයි.
‘ලන්සුපතිනියෝ’ ඔබව සොයාගෙන පැමිණි ආකාරය කියනවා නම්?
මෙහෙමයි. රසික සුරවීරආරච්චි තමයි ‘ලන්සුපතිනියෝ’ තිර පිටපත මා වෙත ගෙන ආවේ. ශිවගුරුනාදන් මහත්තයා හරහා තමයි මම පළමුව රසික සුරවීරආරච්චිව හඳුනාගත්තේ. දක්ෂ රංගන ශිල්පීන් සමූහයක් එක්ක වෙනත් විදිහේ චරිත රැසක් සමඟ හොඳ නිර්මාණයකට දායක වීමේ ආසාව මා තුළ තිබෙන අවස්ථාවක තමයි රසික ‘ලන්සුපතිනියෝ’ තිර පිටපත මා වෙත ගෙන ආවේ.
ඒ වගේම ශිවගුරුනාදන් මහත්තයා කියන්නේ මාව එකිනෙකට වෙනස් අන්දමේ චරිත කරා මෙහෙයවූ කෙනෙක්. පළමුව මම ඔහුට ආරාධනා කළා මෙහි අධ්‍යක්ෂණය සඳහා එක්වෙන්න කියලා. නමුත් ඔහුගේ කාර්යබහුලකම නිසා ඉතා සුහදව ඔහු මට පහදා දුන්නා ඒ සඳහා කාලය යොමුකිරීමට අපහසුයි කියා. ඉන් පස්සේ තමයි තුසිත අනුරාධ කියන අපේ කැමරා අධ්‍යක්ෂවරයා සමඟ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මෙය නිර්මාණය කළේ.
මෙවැනි කතා වස්තුවකට ඔබේ නිෂ්පාදන කාර්යයෙහි ඉඩ ඇති බව ඔබ රසිකට කියා තිබුණාද?
ඔව්. එවැනි කතාබහක් තුළ මමත් රසිකත්, ශිවගුරුනාදන් මහතාත් කාලයක සිට නිරතව සිටියා. රසිකගේ සංකල්පය බිහිවුණේ එම පසුබිම මතයි.
ඒ කියන්නේ තිර පිටපත තුළ ඔබේ නිර්මාණ හැකියාවද ගැබ්ව තිබෙනවා?
පසුකාලීනව මමත් රසිකත් කතාබහ කොට සමහර අවස්ථාවන්වල වෙනස් වීම් සිදුකළා. නමුත් තිර පිටපතෙහි සංකල්පය නම් රසිකගේ නිර්මාණශීලීත්වය තම ඔහුගේ පෑනට හසුවූවක්.
‘ලන්සුපතිනියෝ’හි පිරිවැය දැරූ ඔබ එහි නරකම චරිතයට දායක වූයේ ඇයි?
මම වියදම් කරනවා කියා සුදු චරිතයක් රඟපෑමේ ආසාවක් මා තුළ වූයේ නැහැ. ඇත්තෙන්ම එය බොළඳ ක්‍රියාවක්. මට ඕනෑ වුණේ යමක් කරන්නට පුළුවන් චරිතයක ජීවත් වීමටයි. එනිසා තමයි පෙනුමත් කළු, ස්වභාවයක් කළු, පහත් ත්‍රීවීල් රියැදුරකුගේ තැරැව්කාර චරිතයක් මම බාරගත්තේ.
අනෙක වෙනත් නිෂ්පාදකයකුගේ යටතේ රඟපාන්නට ඇරැයුම් ලැබුණු විට හෝ මම කිසිම විටෙක ‘අනේ මට නරක චරිත නම් එපා’ කියන වාරණය දැම්මේ නැහැ. ඔවුන් මට පවරන චරිතය කුමක්ද ඒ තුළ මට කළ හැකි යමක් වේද, මම එය ඉටුකරනවා. අනෙක් කාරණය ප්‍රේක්ෂකයන් රංගන ශිල්පියකු වෙතින් බලාපොරොත්තු වන්නේ දක්ෂ චරිත නිරූපණයක් මිස සාන්තුවරයකු නෙමෙයි.
නිෂ්පාදන බලතල පාවිච්චි කර ඔබ නිර්මාණකරණයට කිසියම් වාරණයන් එල්ලකළ අවස්ථා තිබෙනවද?
කවදාවත් නැහැ. මම හොඳ කණ්ඩායම් හැඟීමෙන් ඉතාම සුහදව ඔවුන් හා කටයුතු කළා. ඊට හොඳම නිදසුන වන්නේ අද වැනි ආර්ථික පසුබිමක් තුළ තුසිතගේ සහ රසිකගේ ඉල්ලීම මත කල්තොට වැනි පෙදෙසක මෙහි රූගත කිරීම් ඇරැඹීම සඳහා මම අනුමැතිය ලබාදීමයි. ‘වියදම සැරයි මේක අපහසුයි’ කියා මම ඔවුනට කීවේ නැහැ. හොඳම නිර්මාණයක් සඳහා ඇවැසි හොඳම දේ මම ඔවුනට දුන්නා. ඒ වගේම මේ සඳහා දායකව සිටින අපේ ප්‍රවීණ සහ නවක රංගවේදීන්ට තම නිර්මාණකරණයෙහි යෙදීමට ඇවැසි නිදහස මම ලබාදුන්නා. සත්තකින්ම ඉන් මා ලද තෘප්තිය අපමණයි.
‘ලන්සුපතිනියෝ’හි අවසානය කොටස් සියයද?
අපේ එල්ලය කැමැත්ත සහ බලාපොරොත්තුවද එයයි. නමුත් රූපවාහිනී සේවාවන්වල යම් ඉල්ලීම් පරිදි එය වෙනස් විය හැකියි.
එහි අදහස ‘ලන්සුපතිනියෝ’ කොටස් 500ක මෙගාවක් වන බවද?
අපොයි නැහැ. ‘ලන්සුපතිනියෝ’ නීරස ටෙලියක් ලෙස ප්‍රේක්ෂකයන් විසින් අතහැර දමන තැනට ගෙන ඒමේ අදහසක් මා තුළ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්හි උණුසුම මධ්‍යයේම එහි අවසානය දැකීම තමයි මා ඇතුළුව මෙයට දායකව සිටින හැම කලාකරුවකුගේම අදහස වන්නේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











