චාලි චැප්ලින් යනු අපි නොදන්නා අපිට නුහුරු අමුතු චරිතයක් නොවේ. ඔහු ලෝකයේ සිටි ප්‍රසිද්ධ හාස්‍ය උත්පාදක නළුවෙකි. ඉංග්‍රීසි ජාතික හාස්‍ය උත්පාදක නළුවකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු සහ චිත්‍රපට පිටපත් රචකයකුද වන “ශ්‍රීමත් චර්ල්ස් ස්පෙන්සර්” හෙවත් අපේ කනට හුරු “චාලි චැප්ලින්” යනු ඔහුගේ සම්පූර්ණ නාමයයි. එදා ඔහු “ද ට්‍රෑම්ප්” නම් රූප කථනය තුළින් ලෝකයේ ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය සිනමා නළුවකු විය. විටෙක ඔහුගේ සුවිශේෂී රංගනය එදා ලෝකයේ අධික ප්‍රශංසාවට ලක්විය. එහෙත් තවත් විටෙක ඒ රංගනයම විවිධ මතභේදයන්ට පවා තුඩු දුන් එකක් විය. කෙසේ හෝ ලෝක සිනමාව තුළ “චාලි චැප්ලින්” යන නාමය වසර හැත්තෑපහකට අධික වූ කාලයක් පැවතුණු බව නම් කිව යුතුමය.
චාලි චැප්ලින් උපත ලැබුවේ 1889 අප්‍රේල් 16 වැනිදාය. ඔහුගේ මරණය සිදුවන්නේ 1977 දෙසැම්බර් 25 වැනිදාය. ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු අසූඅටකි. ඔහු බි්‍රතාන්‍ය ජාතිකයෙකි. චැප්ලින්ගේ ළමා කාලය අධික දරිද්‍රතාවෙන් පිරි එකක් වූ බව සඳහන්ය. තම පියාගේ නික්ම යෑමත් තම මව මුදල් අගහිඟකම්වලින් පෙළීම මෙන්ම මානසික රෝගයකින් පෙළීම ඊට හේතුවයි. ඒ නිසාම ඔහුට දෙවරක්ම “වර්ක් හවුස්” වෙත යෑමට සිදු වූ බවද පැවසෙයි. නමුත් බොහෝ දුක් කම්කටොලු හමුවේ ඔහු තම සිහිනය වූ රංගනය තුළින් පසුබෑවේ නැත. අවසනදී ඔහු “ද ට්‍රෑම්ප්” නම් චරිතය තුළින් ලෝකයේම අවධානය දිනාගන්නට සමත් විය. එසේම වැඩිකලක් යෑමට මත්තෙන් ඔහු ඔහුගේම චිත්‍රපට අධ්‍යක්ෂණයට පැමිණි අතර වර්ෂ 1918 කාලය වෙන විට ලෝකයේ ජනප්‍රියම පුද්ගලයන් අතරින් කෙනෙකු වීමටද චාලි චැප්ලින්ට හැකිවිය.
මෙම අපූරු මිනිසාගේ මුල්ම සිනමා නිර්මාණය වූයේ 1921 වර්ෂයේදී තිරගත වූ “කිඞ්” චිත්‍රපටයයි. ඉන් අනතුරුව “වුමන්” චිත්‍රපටයත්, 1923 වර්ෂයේදී “ඔෆ් පැරිස්” චිත්‍රපටයත්, 1925 වර්ෂයේදී “ගෝල්ඞ් රෂ්” චිත්‍රපටයත්, 1928 වර්ෂයේදී “සර්කස්” චිත්‍රපටයත් තිරගත විය. පසුව “සිටි ලයිට්ස්” මෙන්ම “මොඩර්න් ටයිම්ස්” වැනි දෙබස් රහිත චිත්‍රපට තුළින්ද චාලි චැප්ලින් බොහෝ ජනප්‍රිය විය. මේ අතර තමන්ගේ සිනමා නිර්මාණයන් වෙනුවෙන් ඔහු කැපවීය. එහිදී තිර පිටපත් ලිවීමත් අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, සංස්කරණයත්, සංගීත සංයෝජනයත් සිදුවූයේද මෙම චාලි චැප්ලින්ගේම අතිනි. එමෙන්ම ඒවායේ ප්‍රධාන චරිතයද කළේ ඔහුය. එම නිසාම ඔහුගේ නිර්මාණ කටයුතු අගයමින් ඔහුට ගෞරවනීය ඇකඩමි සම්මානයද හිමි වූ බව සඳහන්ය.
වර්ෂ 1908 දී චාලි චැප්ලින් තම සහෝදරයාගේ මාර්ගයෙන් ෆ්‍රෙඩි කානෝගේ සුප්‍රසිද්ධ හාස්‍ය රංගන සමාගම හා සම්බන්ධ වී තිබේ. එහිදී චැප්ලින්ගේ රඟපෑම් ඉතා සාර්ථක වූ බවද පැවසෙයි. ඒත් සමඟම කානෝ විසින් ඔහුව උතුරු ඇමෙරිකානු සංචාරයකට තෝරාගත් අතර එහිදී එරට රසිකයන් විසින් චාලි චැප්ලින්ගේ රඟපෑම ආදරයෙන් වැලඳගෙන තිබේ. නමුත් 1940 දශකය තුළ ඔහුට එතරම් හොඳ කාලයක් නොවූයේ ඔහුගේ ජනප්‍රියත්වය එක්වරම ගිලිහී ගිය නිසාය. එහිදී “ද ග්‍රේට් ඩික්ටේටර්” නමින් “ඇඩොල්ෆ් හිට්ලර්” අළලා ඔහු කළ හාස්‍යමය සිනමා නිර්මාණය එකල දැඩි ලෙස මතභේදයට තුඩු දුන් සිනමා නිර්මාණයක් විය. ඊට දැඩි විවේචනද එල්ල විය. එහෙත් එම නිර්මාණය පසුව ඇකඩමි සම්මාන උළෙල තුළ සම්මාන පහකට පමණ නිර්දේශ වූ අතර එහිදී හොඳම නළුවාට නිර්දේශ වූ චැප්ලින් මෙසේ පවසා තිබේ.
“මට සියලු දේම පරස්පර විදිහට වෙනස් ආකාරයෙන් සිදුකරන්නට වුවමනා වුණා. බැගී කලිසමත් හිරවුණ කෝට් එකත් කුඩා තොප්පියත් සහ විශාල සපත්තු කුට්ටමටත් අමතරව මගේ මුහුණේ භාව ප්‍රකාශනය නොසඟවා වියපත් බවක් ආරෝපණය කරගැනීම සඳහා මම කුඩා උඩු රැවුලකුත් එක් කරගත්තා. මට චරිතය ගැන කිසිම තේරුමක් නැහැ, නමුත් මම ඊට සූදානම් වූවායින් පසු ඇඳුම සහ මේකප් මට අවශ්‍ය චරිතයට මාව රැගෙන යනවා. මම ඔහුව හඳුනා ගන්නවා. වේදිකාවට පිවිසෙන විට ඔහුට සම්පූර්ණ ලෙසම ජීවය ලැබී අවසානයි….”
වර්ෂ 1940 දී නඩු විභාග කිහිපයක් සඳහා චාලි චැප්ලින් මුහුණ දුන් අතර ඒ හරහා ඔහුගේ රංගන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවිය. කෙසේ හෝ පසුව චැප්ලින් ඇමෙරිකානු තිර පිටපත් රචකයකු වන ඉයුජීන් ඔ‘නෙලීගේ දියණිය වූ “වූනා ඔ‘නෙලී” සමඟ විවාහ වූ බව පැවසෙයි. චාලි චැප්ලින් එය හැඳින්වූයේ තම ජීවිත කාලය තුළ සිදු වූ ප්‍රීතිමත්ම සිදුවීම ලෙසයි. ඒ අනුව ඔහුගේ විවාහ දිවිය දහඅට වසරක් පුරා පැවති අතර 1977 දෙසැම්බර් 25 වෙනිදා චැප්ලින් මියයන විටත් ඔහු දරුවන් අට දෙනකුගේ පියකු බවද සඳහන්ය. එහෙත් ඔහු මියගියද අදටත් චාලි චැප්ලින් යන නාමය අමරණීය බව නම් කිව යුතුමය.
නලින්ද සම්පත්











