දැනට වසර කිහිපයකට උඩදී ලංකාවට සුනාමියක් ආව බව ඔබ අප කවුරුත් දන්න කරුණක්. ඉතින් ළඟදීම සිනමාවටත් සුනාමියක් එන බව ආරංචි වුණා. එයට සම්බන්ධ දක්‍ෂ රංගන ශිල්පියෙක් තමයි දර්ශන් ධර්මරාජ කියන්නේ. ඔහුගේ මේ වසර 20ක කලා දිවියේ මතක සැමරුම එක්ක හෙට දවසේ බලාපොරොත්තු අප සමඟ දිගහැරුණේ මෙලෙසටයි.
දර්ශන්ගේ සිනමා ජීවිතයට සුනාමිය කඩඉමක් නේද?
සුනාමි චිත්‍රපටය මගේ රංගන ජීවිතයට ආලෝකයක්. මෙය මගේ ජීවිතයට ලොකු කඩඉමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මගේ ආදරණීය රසික රසිකාවියන්ට මගේ රංග කුසලතාවන් වෙනස්ව දැකබලා ගන්න පුළුවන් වීම සතුටක්. සරෝජා, පුංචි සුරංගනාවි, මම ආශාවෙන් රස විඳපු චිත්‍රපට. මගේ ලොකු ආශාවක් තිබුණා සෝමරත්න දිසානායකගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඒත් මම හිතුවෙ නැහැ මට ඒ අවස්ථාව දැන්ම උදාවෙයි කියලා. සුනාමි චිත්‍රපටයට ආරාධනා කළාම මට පුදුමාකාර සතුටක් දැනුණේ.
සුනාමි චිත්‍රපටයේ ඔබේ රංග චාරිකාව ගැන කතා කළොත්?
ඇත්තටම සුනාමි ගැන කතා කරන්න සුදුසුම වෙලාව මෙය නෙමේ. මොකද චිත්‍රපටය ඉතාමත් හොඳ නිර්මාණයක්. මගේ චරිතය ගැන දැන්ම කතා කළොත් එහි තිබෙන රසයට පලුදුවීමක් වෙයි. ඒ නිසා අපි චිත්‍රපටය තිරගත වුණාම එය ගැන කතා කරමු.
ලංකාවේ නිර්මාණවල තිබෙන දුර්වලකමක් තමයි රංගන ශිල්පීන් චරිතවලට කොටුකිරීම. ඔබේ ස්වරූපය නිසා ඔබත් චරිතවලට කොටු වුණා නේද?
ඇත්තටම ඔව්. එය ගැන මම කනගාටු වෙනවා. හැබැයි මට ලැබුණු හැම චරිතයකටම මම සාධාරණයක් ඉෂ්ට කළා. ඒ චරිත වෙනුවෙන් මම සම්මාන පවා ලබාගත්තා. පෝරිසාදයා චිත්‍රපටය ඒ අතර විශේෂ වුණා. මම ගොඩාක් වැඩ කළේ නව පරපුරේ අධ්‍යක්‍ෂවරු එක්ක තමයි. අධ්‍යක්‍ෂවරු මාව දැක්කේ මැරයෙක් විදියට. හැබැයි මට එයට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ වෙනස සුනාමි හරහා දැක ගනීවි කියලා මම හිතනවා.
ඔබේ සිහිනයක් පලදරන්න ළඟයි නේද?
මගේ ලොකු ආශාවක් තිබුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඉතින් දැනට තිරපිටපත ලියා අවසන්. එහි නළු නිළියන් තෝරා ගැනීමේ වැඩකටයුතු තමයි මේ දවස්වල සිදුකෙරෙන්නේ. තවමත් එහි නම සඳහන් කරලා නැහැ. ලබන වසරේ මුල මම චිත්‍රපටයේ වැඩකටයුතු පටන් ගන්නවා.
හැබැයි ඔබේ චිත්‍රපටය ලංකා සිනමාවේ මෙතෙක් කතා නොවූ සුවිශේෂී නිර්මාණයක් කියලයි ආරංචිය?
අනිවාර්යයෙන් හොඳ කතාවක් තමයි මම නිර්මාණය කරන්නේ. මෙහි තිබෙන විශේෂත්වයක් තමයි විදේශීය රංගන ශිල්පීන් දෙදෙනෙක් ප්‍රධාන චරිතය රඟපෑම.
ඔබ ජනප්‍රිය රංගන ශිල්පියෙක් නිසා දැන් කාර්යබහුල ඇති නේද?
එහෙම ජනප්‍රිය වුණා කියලා මම කාර්යබහුල නැහැ. මම සුනාමි චිත්‍රපටයට සම්බන්ධ වුණෙත් මාස හතක් විතර විවේකීව ඉඳලා. මගේ ජොබ් එක කැමරාව ඉදිරියේ චරිත මවන එක. ඉතින් එහෙම චරිත තෝරා බේරා ගැනීමක් මගේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ











