එදා මෙදාතුර කාලයේ තොටගමුවේ රාහුල හිමියන් අතිශය ප්රසිද්ධ හිමි නමකි. මෙරට පමණක් නොව විදේශයන්ගේද උන්වහන්සේ පිළිබඳ විවිධ කතාබස් ඇතිවී තිබේ. ඇතිවෙමින් තිබේ. ඇතැම් විට තවත් වසර දහස් ගණනක් යන තුරුත් උන්වහන්සේ ගැන ලොව පුරා බොහෝ පිරිසක් කතාබස් කරනු ඇත.
ඊට ප්රධාන හේතුවක් වෙයි. ඒ, උන්වහන්සේගේ නොදිරන සිරුරයි. එය අදටත් ඉන්දියාවේ ගෝවේහි කෞතුකාගාරයක ආරක්ෂිතව තැන්පත් කර තිබෙන බවයි පැවැසෙන්නේ. එම සිරුර දකින බොහෝ දෙනකු මවිතයට පත්වන්නේ වසර ගණනාවක් ගියද තවමත් නොදිරා තිබීමේ රහස නිසාමය.
රාහුල හිමියන්ගේ සිරුර නොදිරා තිබීම ගැන ජනප්රවාදයේ විවිධ කතා ඇසෙමින් තිබේ. ඒ අතරින් යම් විශ්වාසයක් තැබිය හැකි පුවත වන්නේ උන්වහන්සේ සිද්ධාලෝක රසය නමැති බලගතු තෙල් වර්ගය පානය කිරීම නිසා මරණයෙන් පසුවද සිරුර නොදිරා තිබෙනවාය යන විශ්වාසයයි.
එම විශ්වාසය හා බැඳෙන තවත් සැකයක් වෙයි. එනම්, උන්වහන්සේ සිද්ධාලෝක රසය තෛලය පානය කළේ දිවි නසාගැනීමේ අරමුණ ඇතිවද, නැතහොත් වෙනත් කාරණාවකටද යන්නයි. එමෙන්ම උන්වහන්සේගේ සිරුර පසු කාලයේ හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බන ඉඳුරුගිරි ලෙනෙනි.
කෝට්ටේ යුගයේ තොටගමුවේ විජයබා පිරිවෙනේ වැඩසිටි රාහුල හිමියන් පසුකාලීනව කිසිවකුට ඇස නොගැටී අප්රසිද්ධව වැඩවාසය කිරීමට සිතා ඉඳුරුගිරි ලෙනට ගිය බවයි පැවැසෙන්නේ. එසේ උන්වහන්සේ තීරණය කර ඇත්තේ යම් සිත් රිදීමක් නිසාද, නැතහොත් වෙනත් හේතුවකටද යන්න පැහැදිලි නැතත් එසේ ගොස් සිටියදී සිද්ධාලෝක රසය තෛලය පානය කර අපවත් වූවාද එසේ වූවා නම් එය දිවි තොරකරගැනීමක්ද යන්නත් ජනප්රවාද ඇසුරේ සැක කළ හැකි කාරණයකි.
එමෙන්ම උන්වහන්සේ කුඩා කල සිට ගුරු හිමියන් සතු බලගතු තෛලයක් වැඩි මාත්රාවකින් පානය කර සිටි හෙයින් මෙලෙස සිරුර නොදිරනවාය යන්න තවත් මතයකි. කෙසේ නමුත් බොහෝ ජනප්රවාද ඔස්සේ ඉතා පැහැදිලි වන කාරණයක් වන්නේ තොටගමුවේ රාහුල හිමියන් අවසන් කාලයේ අම්බන ඉඳුරුගිරි ලෙනේ වැඩවාසය කළ බවයි.
එමෙන්ම පෘතුගීසි සමය වන තුරුත් නොදිරා තිබූ මේ සිරුර ගැන දැනගත් පෘතුගීසි සෙන්පති ෆ්රැන්සිස් ෂාවියර් තම භට පිරිසක් සමග ගොස් උන්වහන්සේගේ සිරුර රැගෙන ගිය බවත් සිරුර නොදිරා තිබීමේ හාස්කම නිසා එය ඔවුන්ගේ පූජකයකුගේ බව හැඟවීමට ඊට සුදුසු ඇඳුමක් අන්දවා ගෝවේ ප්රදේශයට ගෙන ගොස් තැන්පත් කළ බවත් ජනප්රවාද ඇසුරේ හෙළිවේ.
උන්වහන්සේගේ සිරුර හමුවූ ඉඳුරුගිරි ලෙනේ තිබී ඇඳක් තැබුවා යැයි සැක කළ හැකි ගල් ආධාරක හතරක් හමුවී ඇති අතර, එලෙස පිහිටි ප්රදේශයට පහළ කුඹුරු යායක තිබී කෝට්ටේ යුගයට අයත් ඇඳක කොටසක්ද හමුවී තිබේ. මේ සියලු කාරණා අනුව පැහැදිල වන්නේ නිසැකවම රාහුල හිමියන් ඉඳුරුගිරි ලෙනේ වැඩවාසය කර ඇති බවත්, උන්වහන්සේ අපවත්ව ඇත්තේද එහිදීම බවත්ය. ඒ අනුව උන්වහන්සේගේ මරණය ගැනද සාධාරණ සැකයක් ඇතිවන්නේය. අවසන් කාලය අප්රකටව සිටීමට තීරණය කිරීමත් සිද්ධාලෝක රසය තෛලය පානය කිරීමත් එම සැකයට හේතුපාදක වන්නේය.
කුමාර රත්නායක










