කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට තීරණයකර ඇත.Sri Lanka Latest News
ඒ අනුව ලබන 17 වෙනිදා ඇයව කොමිෂන් සභාවේ විමර්ශන අංශයට කැදවා තිබේ. ඊට අදාල දැනුම්දීම කොමිෂමේ ලේකම්වරයාගේ අත්සනින් මේ වන විටත් නිකුත්කර ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ආර්ථික අර්බුදය පැවති 2022 වසරේ කොළඹ අඩුආදායම් ලාභීන්ට සතොසින් බඩු ගැනීමට ලබාදුන් වවුචර් වංචාවක් සහ නාගරික මන්ත්‍රීවරුන්ට වාහන පාකින් වෙන් කිරීමේදී සිදුවූ වංචාවක් ඇතුළු වංචා රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිනියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.
2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබීය.
සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන ) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2025 දෙසැම්බර් 30 වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇත.
පසුගිය ජූනි 29 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු කොමිෂන් සභාවේ කාලය මෙම වසරේ දෙසැම්බර් 31 දා දක්වා දීර්ඝ කර තිබේ.










