පුවරු ලිපියක් යනු ගල් පුවරුවක් මත ලියූ ලිපි විශේෂයකි. එදා රජ දරුවන්ගේ පටන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ ඉතා ප්‍රසිද්ධ සහ උසස් පුද්ගලයන්ගේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද වෙහෙර විහාර ආදී ආගමික සේවාවන් යනාදිය ගැන එකී පුවරු ලිපි තුළ සඳහන්ය. බොහෝ පුවරු ලිපි ලියවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. ඓතිහාසික අතින් මෙම පුවරු ලිපි අපිට ඉතා වැදගත්ය. මේ අතර ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කෙරෙන මෙන්ම වැදගත්කම අතින් ඉතාමත් ප්‍රසිද්ධ විශේෂ පුවරු ලිපි කිහිපයක් ගැන පසුගියදා අපි තොරතුරු සොයා ගියෙමු.
(01) අභයගිරි සංස්කෘත පුවරු ලිපිය
අභයගිරි සංස්කෘත පුවරු ලිපිය හමුවූ බව සඳහන් වන්නේ අනුරාධපුර කුට්ටම් පොකුණ අසලිනි. මෙය දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබේ. මෙය දිග අඩි 4.4කි. එමෙන්ම එහි පළල වන්නේ අඩි 3.3කි. මෙම පුවරු ලිපිය පේළි 40ක් ලෙස ලියා ඇති අතර මෙහි කර්තෘ ගැන යම් නිශ්චිත තොරතුරක් සඳහන්ව නැත. නමුත් මෙය ක්‍රි.ව. 9 වැනි සියවසට අයත් බව සොයාගෙන තිබේ. පුවරු ලිපියේ අදහස වන්නේ එදා සිව් මහා නිකායන්ගෙන් භික්ෂූන් වහන්සේලා විසිපස් දෙනෙක් බැගින් එසේ භික්ෂූන් වහන්සේලා සිය නමක් තමන් කරවූ විහාරයක වැඩ වාසය කිරීම ගැනය. තවද උන්වහන්සේලාට අදාළ නීති රීති සහ පිළිවෙත් සමූහයක් පවා මෙහි සඳහන්ය. මීට අමතරව එම විහාරය සම්බන්ධව සිදුකරන යම් යම් කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් පිළිපැදිය යුතු කරුණුද මෙම ලිපියේ පැහැදිලිව සටහන් කර ඇත.
(02) අනුරාධපුර පුවරු ලිපිය
අනුරාධපුර රත්න ප්‍රාසාදය අසල ගල් වියන නම් ස්ථානයෙන් සොයාගත් මෙය ක්‍රි.ව. 10 වැනි සියවසේ නිර්මාණය කළ පුවරු ලිපියකි. මෙහි කර්තෘ ලෙසින් සැලකෙන්නේ පස්වැනි කාශ්‍යප රජතුමාය. උස අඩි 5.4ක් සහ පළල අඩි 3.3ක් වෙන මෙම පුවරු ලිපියේ සඳහන් වන්නේ පස්වැනි කාශ්‍යප රජු සිදුකළ විශේෂ පින්කම් සහ පරිත්‍යාග වැනි දේවල්ය. විශේෂයෙන්ම තමන් අභයගිරියේ සිලාමේඝ පබ්බත විහාරයට කළ පරිත්‍යාග පිළිබඳවත් අභයගිරි චේතිය ගිරි විහාරයේ සහ වනවාසී භික්ෂූන් සිටි පධානඝර මෙහෙණිවරේ අභ්‍යන්තර පාලන කටයුතු ගැන මෙහි සඳහන්ව ඇත. තවද තමන් කරවූ ඒ විහාරයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කිරීම ගැනත් උන්වහන්සේලාට අදාළ නීති රීති සහ පිළිවෙත් සමූහය ගැනත් මෙන්ම ඒ විහාරය සම්බන්ධ කටයුතු තුළදී රාජ්‍ය නිලධාරීන්ට පිළිපැදිය යුතු කරුණුද මෙම පුවරු ලිපියේ සඳහන්ය.
(03) වෙස්සගිරි පුවරු ලිපිය
වෙස්සගිරි පුවරු ලිපියේ කර්තෘ වන්නේ පුල්ලා නම් උපාසකතුමා වෙන අතර මෙම පුවරු ලිපිය එදා හමුවන්නේ වෙස්සගිරියෙනි. එය දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තබා ඇති අතර එය ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් බව සොයාගෙන තිබේ. දිග අඩි 2.5ක් සහ පළල අඩි 1.10ක් වෙන මෙය පේළි 25ක් සමඟින් ලියූ අපූරු පුවරු ලිපියකි. මුලසෝ වෙහෙර සංවැල්ලට පැමිණි පුල්ලා උපාසකතුමා විසින් වීරාංකූර ආරාමයේ භික්ෂූන්ට ප්‍රත්‍ය සම්පාදනය සඳහා රන් කළන් 200ක් පුදා එයින් කළ යුතු කටයුතු නියම කර එහි වැඩවසන භික්ෂූන්ටද ඒ නියමයන් රැකිය යුතුයි යන්න ලිපියේ සඳහන් වෙයි. මේ අතර එම පුවරු ලිපියේ අනෙක් පස ඇත්තේ තවත් පුවරු ලිපියකි. එය උස අඩි 4.2ක් සහ පළල 1.9ක් වෙයි. නමුත් මෙහි ඇතැම් කොටස් දැනට මැකී ගොස් ඇති අතර අදටත් කියවිය හැකි තත්වයේ ඇත්තේ පේළි 14ක් පමණි. විදුරම්බමු නමැත්තා බෝ උපුල්වන් කුසුබ්ගිරි රජ මහා වෙහෙරින් රන් කළන් 200ක් ගත් ඉඩමේ ආදායමෙන් සංඝයාට වස්ත්‍ර පූජා කළ බවත් බෙහෙත් ගෙට හා සේවකයන්ට දුන් ඉඩම් ගැනත් මෙහි සඳහන්ය.
(04) පොළොන්නරුව ගල්පොත ලිපිය
ශ්‍රී ලංකාවේ දැනට විශාලතම වූ ශිලා ලිපිය ලෙස සැලකෙන්නේ මෙම පොළොන්නරුව ගල්පොත පුවරු ලිපියයි. මෙය පොළොන්නරුව හැටදාගෙය සහ සත්මහල් ප්‍රාසාදය අතරින් සොයාගත් බවට සඳහන් වෙයි. මෙහි උඩු පැත්තේ දිග අඩි 26.10ක් වෙන අතර යටි පැත්තේ පළල වන්නේ අඩි 26.7කි. එමෙන්ම මෙහි පළල අඩි 4.7කි. පේළි 72කින් සමන්විත මෙහි කර්තෘ වන්නේ නිශ්ශංකමල්ල රජතුමාය. එමෙන්ම මෙහි සඳහන් වන්නේද එතුමා ගැන සහ එතුමා කළ සේවාවන් ගැනය. එම රජුගේ සමයේ රටේ සිදු වූ විදේශ ආක්‍රමණ සහ රටවැසියාට කරන අනුශාසනාද ඒ අතර ඇත. එමෙන්ම මේ ලිපියේ ඇතුන් දෙදෙනකුගේ මෙන්ම ලක්ෂ්මී දෙවඟනගේ රුවද කැටයම් කර තිබීම විශේෂත්වයකි. මෙම පුවරු ලිපිය ලිවීමට යොදාගත් ගල මිහින්තලයෙන් ගෙන ආ බවද සඳහන් අතර මෙය ක්‍රි.ව. 12 වැනි සියවසේ ලියූ පුවරු ලිපියකි.
(05) වේවැල්කැටිය පුවරු ලිපිය
ශ්‍රී ලාංකේය පුවරු ලිපි ගත්කල ප්‍රසිද්ධම පුවරු ලිපි කිහිපය ඇත්තේ අනුරාධපුරය, ගොඩවාය, දැදිගම සහ පොළොන්නරුව, තිස්සමහාරාමය, මිහින්තලය මෙන්ම කඳුරුගොඩ, තන්තිරිමලේ, සෝමාවතිය, පඬුවස්නුවර ආදී ප්‍රදේශවලය. මේ අතර අනුරාධපුරයේ සිට සැතපුම් 21ක් ඊසාන දිශාවෙන් එදා තිබූ වේවැල්කැටිය නම් වූ ගම්මානයෙන් සොයාගත් වේවැල්කැටිය පුවරු ලිපියද ඓතිහාසික අතින් වැදගත් වූ එකකි. මෙය අයත් බව සැලකෙන්නේ සිව්වැනි මහින්ද රජුගේ රාජ්‍ය සමය වූ ක්‍රි.ව. 1026-1042 යන කාල සමයටය. මෙම පුවරු ලිපිය තුළ සඳහන් වන්නේ දසගම නම් වූ ගම්මානය තුළ වූ නීති රීති සමුදායක් ගැනය. එදා රටේ තිබූ නීති රීතිද මේ ලිපියේ සඳහන් අතර එවකට තිබූ බිහිසුණු වූ දඬුවම් ක්‍රමවලට හොඳම සාක්ෂියද මෙම පුවරු ලිපියයි. එදා රටේ මරණීය දණ්ඩනය පවා ක්‍රියාත්මක වූ බව මෙහි පැහැදිලිව සඳහන් කර තිබේ.
(06) දැදිගම පුවරු ලිපිය
මෙය හයවැනි බුවනෙකබාහු රජුට අයත් පුවරු ලිපියකි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම නම් විහාරයේ බෝධිය අසලින් එදා හමුව ඇති දැදිගම මෙම ප්‍රසිද්ධ පුවරු ලිපිය හයවැනි බුවනෙකබාහු රජුගේ නියමය පරිදි ලියා ඇත්තේ වික්‍රමසිංහ නම් වූ පුද්ගලයෙකි. මේ අතර ඔහු අධිකාරම්වරයකු බවද පැවසෙයි. ලිපියේ හයවැනි බුවනෙකබාහු රජුට විරුද්ධව ඇති වූ දරුණු කැරැල්ලක් මැඩ පැවැත්වීම ගැන සහ එම කැරැල්ල කළ කැරලිකරුවන් සඳහා අභය දානය ලබාදීම ගැන සඳහන් කර තිබේ. තමන්ට විරුද්ධව විරෝධතා මතුවූ අවස්ථාවලදී හෙළ රජ දරුවන් එදා ක්‍රියාකළ ආකාරය මෙම ලිපියෙන් අවබෝධ වෙයි. මෙම දැදිගම ප්‍රසිද්ධ පුවරු ලිපිය ආරම්භ වන්නේ “යහපතක්ම වේවා” යන ආශිර්වාදාත්මක යෙදුමද සමඟිනි.
(07) උදාමහයාගේ පුලියම්කුලම් ලිපිය
අනුරාධපුරයේ සිට සැතපුම් දෙකහමාරක් පමණ වෙන්නට ඇති යාපනය මහා මාර්ගයට සමීපව පිහිටි පුලියම්කුලම් නමැති ගමේ පැරණි විහාරස්ථානයක වූ නටබුන් අතරින් මෙම සුප්‍රසිද්ධ පුවරු ලිපිය හමුවී තිබේ. උදමහයා සෙනෙවිතුමා කර්තෘ බවට සඳහන් මෙම පුවරු ලිපියේ අදහස වන්නේ එතුමා තමාගේ හා සිය පුතුගේ නම යොදා “උදා කිතග්බෝ” නමින් එක්තරා ආරාමයක් කර කපාරා මූලයට අයත් වූ පුවරම් නම් විහාරයෙන් භික්ෂූන් වහන්සේලා දොළොස්නමක් එහි වැඩම කර උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළ ආකාරයයි. මෙම පුවරු ලිපියේ දිග අඩි 6ක් වෙන අතර පළල අඩි 2.1ක් ලෙස සඳහන් වෙයි. මෙම ලිපිය ක්‍රි.ව. 10 වැනි සියවසට අයත්වන අතර දැනට අපේ ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී වූ පුවරු ලිපියකි.
(08) ලීලාවතී රැජිනගේ පුලියම්කුලම් ලිපිය
දිග අඩි 4ක් සහ පළල අඩි 2ක් වෙන පේළි 29ක් වෙන්නට ලියූ මෙම පුවරු ලිපිය එදා පුලියම්කුලමෙන් හමුවූ තවත් සුප්‍රසිද්ධ වූ පුවරු ලිපියකි. මෙය දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි කර්තෘ වන්නේ කාන්තාවකි. එනම් කලක් ලාංකේය රාජ්‍ය තනතුර දැරුවෝ ලීලාවතී රැජිනයි. ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් බවට සැලකෙන මෙහි අදහස වන්නේ “පලබලව් මේධාවි” නම් දන්සැලක් සහ එයට කුළුබඩු ආදිය සැපයීම සඳහා ඒ නමින්ම කඩපිලක් තැනවීම පිළිබඳවත් එහි නඩත්තුව සඳහා ගම්බිම් ආදිය පිදීම නොකඩවා සිදුකළ ඓතිහාසික කතාවක් ගැනයි. මේ අතර කර්තෘ කාන්තාවක වූ පළමු පුවරු ලිපියද වන්නේ මෙය බව අපේ විශ්වාසයයි.
රුවන් එස්. සෙනවිරත්න











