බොලිවුඞ් සුපිරි කාන්තාවන් ගැන පංකාදු පහේ ඔත්තු මවන, අන්තර්ජාලය පුරා මේ දිනවල ගින්දර වගේ ඇවිළීගෙන යන උණුසුම් පුවත වන්නේ ආලියා භාත්ගෙත්, රන්බීර් කපූර්ගෙත් විවාහ මංගල්‍ය ගැනය. සමාජ ජාලා, වෙබ් අඩවි හරහා හරි අලංකාරව ආටෝපයට තනන ලද ඔවුන්ගේ මංගල ඇරැයුම්පතද විකාශනය වී හමාරය. 2020 ජනවාරි මස සිදුවීමට නියමිත විවාහ මංගල්‍යයෙහි උත්සවය ප්‍රංශයෙහි පැවැත්වෙන බවද කාඞ් පතෙහි සඳහන්ව ඇත.
එහි දින හරිහැටි පැහැදිලි නැති අතර, කාඞ්පත ගැන විස්තර හැටියට පළවී තිබෙන්නේ තවමත් සැලැසුම් වෙමින් පවතින මංගල කාඞ්පතෙහි සාම්පලයක් යම් පැපරාසියකුගේ කැමරා ෆෝනයකට හසුවීමෙන් මෙසේ අන්තර්ජාලයට ලීක්වී ඇති බවය.
ලන්ඩන් බලා පිටත්ව යෑමට සූදානම්ව සිටි ආලියා එහි යන්නට පළමුව මෙම මංගල ඇරයුම්පත සම්පූර්ණ ව්‍යාජ එකක් බවත් තවම එවැන්නක් සඳහා දින නියම කරගෙන නොමැති බවත් සුහදව පවසා සිටියේ සිය ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් නිකුත් කරමිනි.
“මෙම හැඩයේ ඇරැයුම් පතක් මා සතුව තිබෙනවා. ඒ රන්බීර් සාගන් උත්සවය වෙනුවෙන්. මා වෙත දුන් ප්‍රේමය මුසු ආරාධනා පත්‍රයයි එය මම මගේ ට්විටර් ගිණුමට එකතු කළා. කිසිවකු විසින් මෙම ව්‍යාජ පෝස්ටුව සකසා තිබෙන්නේ එම ඇරැයුම් පත අනුව බව මට විශ්වාසයි.” ආලියා තම අමනාපය එලෙසින්ද අකුරුකර තිබිණි.
ලන්ඩන් ගිහින් එන ගමනේ ආලියා භාත් පැමිණියේ රන්බීර්ගේ සුරතෙහි ඉතා ප්‍රේමාන්විත ලෙස වෙළී ගනිමිනි. ගුවන් තොටුපොළේදී පැපරාසියෝ කිහිපදෙනකු ඔවුන්ගේ ඡායාරූප කෝණ කිහිපයකටම සටහන්කොට ගත්හ. ආලියා සමඟ රන්බීර්ද එයට ඉඩදී නිහඬව බලා සිටියහ.
ප්‍රංශයේදී සිදුවීමට නියමිතව තිබෙන භාත්ගෙත්, රන්බීර්ගෙත් විවාහය පිළිබඳ ඇරැයුම්පත ව්‍යාජ එකකැයි පවසන්නේ ඇයි කියා කියන්නැයි එහිදී එක් ඡායාරූප ශිල්පියකු රන්බීර් නැති මොහොතක් බලා ආලියාගෙන් ඇසුවේය. එවැන්නක් එම මොහොතේ බලාපොරොත්තු නොවූ ආලියා දැඩි අසරණ තත්ත්වයට පත්ව වටපිට බැලුවේ රන්බීර් කොහේදැයි කියාය.
“ඔබේ උත්තරය ප්‍රමාද ඇයි කියන්න මම දන්නේ නැහැ”
ඡායාරූප ශිල්පියා තක්කු මුක්කුව සිටින ලස්සන ආලියාව තව තවත් පීඩාවට පත්කළේය.
“කරුණාකරලා මට පාඩුවේ ඉන්න ඉඩහරින්න”
ආලියා ඉතා සෙමෙන් ඡායාරූප ශිල්පියාට කීයේ තම සියුම් කෝපය සඟවා ගනිමිනි.
“මෙය ඇත්තක් කියා පිළිගන්න. ඒක මහ දෙයක් නෙමෙයිනෙ”
නිහඬ නොවූ පැපරාසියාද මිත්‍රශීලී සිනාවක් පාකරමින් ආලියාට කීවේය.
“කටකකතා කියන්නේ වැටක් ඉදිනොවූ අත්තටු තනාගත් අශෝභන යමක්. ඉතින් එය සීමාවක් නැතිව දිගින් දිගටම පියාසර කරගෙන ඔහේ යන්න යාවි”
ආලියා ඉතා පහත් හඬින් දැඩි ස්වරයකින් එසේ කියා ඉක්මන් ගමනින් යන්නට ගියාය.
පැපරාසියා නම් සිය ට්විටර් ගිණුම හරහා සටහන් කර තිබුණේ රන්බීර් කොහේදැයිවත් නොබලා ආලියා කාරයට නැඟී පවනට බඳු වේගයෙන් පලාගිය බවකි. ආලියා පැපරාසීන්ට බියේ එලෙස ඔවුන් මඟහැර ගියද ආලියාගේ මව වූ ප්‍රවීණ රංගන ශිල්පිනී සෝනි රාස්දාන් පැපරාසින්ගේ හැසිරීම ගැනත්, සමාජ ජාලා, වෙබ් අඩවි ගැනත් ඉතා පිළිකුලෙන් කතා කළාය.
තරුණ කෙල්ලකගේ පෞද්ගලික අයිතියක් වන මංගල ඇරැයුම් පතක් වැනි සුවිශේෂී දෙයක් මෙලෙස උපහාසයට ලක්කිරීම ඉතාම අශෝභන යැයි සෝනි රාස්දාන් තරයේ කියා සිටියාය. තම දියණියවත් ඇගේ පෙම්වතා වන රන්බීර්වත් පමණට වඩා වද දෙන වැරැදිකරුවන්ට මාධ්‍ය මඟින් අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියක් ලබාදීම නවත්වන්නැයි ඈ ටයිම්ස් ඔෆ් ඉන්දියන් පුවත්පතින් ඉල්ලා සිටියාය.
මේ සියල්ල හමුවේ රන්බීර් මුනිවත රැකීම ගැටලුවක් බව පවසමින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දිගට හරහට විවිධ වැකි පළවිය. ආලියාගේ මාමා වූ බුනේෂ් බාත් කියා සිටියේ නිහඬ බව වඩා හොඳ බවය.
කෙසේ වුවද රහසේ හෙළිවූ 2020 වසරේ පැවැත්වීමට නියමිත යැයි කියන අලංකාර මංගල උත්සවයක කාඞ්පත ව්‍යාජද, අව්‍යාජද කියන්නට දන්නේද මනාලයා, මනාලිය ඇතුළු නෑයන්ම පමණය.
ආලියා පමණට වඩා පෙන්වන අමනාපයත් රන්බීර්ගේ නිහඬ බවත් තවත් එක්තරා ආකාරයක කුකුසකි. තවත් විදියකට සිතනවා නම් මෙතැන සිදුව තිබෙන්නේ ලිහාගන්නට තනන මල්ල ඔබා බලන්නට දැරූ උත්සාහයක් පමණය. ඇතැම් පැපරාසීන් සඳහන් කර සිටින්නේ රන්බීර් සහ කසාදය තමාට ෂුවර් නැති බැවින් ආලියා මෙය කලබලයක් කරගෙන ඇති බවකි.
කෙසේ වුවද කරන් ජොහාර්ගේ නිවෙසේ මත් සාදයක් වූ ගොසිප් එක තරමටම මේ අපූරු මංගල ඇරැයුමද අතිශයින්ම ආන්දෝලනාත්මක වූ බව නම සැබෑය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











