2019 ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම්ය. 18 වැනිදා දහවල් වන විට සියල්ල විසඳී හමාර වනු ඇත. මෙවර සටනට එන්නේ ජනාධිපතිවරණයට පළමු වතාවට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ය. එක්කෙනෙක් සජිත් ප්‍රේමදාසය. අනිත් කෙනා ගෝඨාභය රාජපක්ෂය. දෙදෙනාටම ජනාධිපතිවරුන්ගේ නෑදෑකම් තිබේ. සජිත් ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයාගේ පුතාණෝය. ගෝඨාභය රාජපක්ෂගේ අයියණ්ඩි ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂය. දෙන්නම හිස් අතින් පැමිණ නැත. දේශපාලන අත්දැකීම් දෙන්නාටම තිබේ. දෙන්නාටම අරලියගහ මන්දිරයේ දිග පළල ගැන හොඳ අවබෝධයක් තිබේ. එක්කෙනෙක් වගකිවයුතු ඇමැති කෙනෙකි. අනිත් කෙනා රටේ තීරණාත්මක සමයක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය. ඒ නිසා තීන්දුව තීරණාත්මකය. දෙදෙනාම දෙදෙනාටම නොදෙවැනිය. නමුත් මේ අපි කතා කරන්න යන්නේ සජිත් ප්‍රේමදාස ගැනය. ඔහුගේ ජීවිත කතාව මේ කතාවට අදාළ නැත. නමුත් ඔහු ජනාධිපතිවරණ වේදිකාවට නැග්ග කතාව ලේසි නැත. මේ ආ මග බොහෝම දුෂ්කරය. ජනාධිපති ධුර අපේක්ෂකත්වය ඔහුට බන්දේසියක තබා පිළිගැන්වූයේ නැත. සජිත් නැග්ගේ ලොකු කන්දකි. මේ කන්ඳ නැග්ග අතරමග වූ ගල් බොරලු බාධකවල කතාවයි.
සජිත් ජනාධිපතිවරණයට එන ගමන ගැන එහෙං මෙහෙං හාව හූව පටන් ගන්නේ ජනාධිපතිවරණයට හුඟ කාලයකට පෙරය. නමුත් එය වෙන එක ගැන නිශ්චිත අදහසක් කාටවත්ම තිබ්බේ නැත. එජාප නායකයෝත් පක්ෂ ප්‍රභලයෝත් කියමින් හිතියේ එක එක පන්නේ පරස්පර කතාය. මේ කතා අතර මැද පාක්ෂිකයන්ට එක එක ඒවා හිතුණේය.
“රනිල් එයි වගේ…”
කියා සමහරු කීවේය.
“කරූලු එන්නෙ…”
එහෙමත් කීවේය.
“සජිත් නැත්නම් එපා…”
කියනා අයද හිටියේය.
ගැටලු ගැටුම් ඇති වෙන්නට ඉඩ කඩ හැදුණේය. විපක්ෂය බලා උන්නේ පුපුරනා තුරුය. ගින්නට දමන්නට පිදුරු ලෑස්ති කර තිබ්බේය. ඇත්තටම එජාපයෙන් හරි වචනයක් ආවේම නැත. සජිත් විටින් විට සාකඡාවලට ආවේය. අතර මග තැනක රැක සිටි මාධ්‍යවේදීන්ට ඔහු කීවේ
“බලමු…” කියාය.
රනිල්, සජිත්, කරු කීප විටකම මුණගැහුණේය. ඔය අතර සජිත් පිලක් හැදුණේය. මේ කල්ලිය නාහෙට නාහනා බවක් පිටස්තර අපිට පෙනුණේය.
“කවුද ජනාධිපතිවරණයට එන්නෙ?”
කියන ප්‍රශ්නයට දෙන්නට තිබුණ,
“සජිත්”
කියනා තනි වචනය වෙනුවට හුඟාක් වචන කියන්න එජාප ප්‍රබලයෝ කාලය නාස්ති කළේය. එජාප නායකයාත් මහලේකම්වරයාත් ඇතුළු ලෝක නායකයෝ හැමෝම මේ අතර සිටියහ.
මේ අතර එක පයින්,
“සජිත්, සජිත්”
කියනා අයත් කීපදෙනෙක් සිටියේය. හරීන්, කාවින්ද, අජිත් වගේ අයත් මලික්ලා, මංගලලාත් මේ සජිත් ගෙන එන එක ගැන හුඟාක් උනන්දු වුණ අය විය. සජිත් ගෙනෙන සටනේ පෙරළිකාර රැලිය පැවැත්වුණේ බදුල්ලේය. ඒ 2015 එජාප ජයට පාර කී හරීන්ගේ සටන ගැන සිහිපත් කරමිනි. ගෝඨා නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයා බව රටට හඳුන්වා දුන් දැවැන්ත රැලියකින් පසු මේ බදුල්ලේ රැලිය පැවැත්වුණේය. නමුත් එය නිල වශයෙන් “එක්සත් ජාතික පක්ෂ” නියෝජනය එයට ලැබුණේ නැත. නමුත් හරීන්ලා සජිත්ව කර පිටින් වේදිකාවට ගෙනාවේය.
“මම මේ වගේම මගේ පාක්ශිකයන්ගෙ කරපිටින් ගිහිල්ලා මේ සටන දිනනවා”
සජිත් කියද්දී පාක්ෂිකයෝ අත්පොලසන් දුන්නෝය. නමුත් එදා ඒ වේදිකාවේ රනිල්ලා, කරුලා, අකිලලා, කිරිඇල්ලලා හිටියේ නැත. ඒ වෙන කොටත් ෆොන්සේකා සජිත්ට වහෙන් ඔරෝ පහර දෙමින් හිටියේය. චම්පිකලාගේත් ඒ හැටි කැමැත්තක් තිබ්බේ නැත. රවි කොහොමත් සජිත් එක්ක මත ගැටුම් ඇති කරගෙන තිබ්බේය.
“ඔහොම පුළුවන්ද ජනාධිපතිවරණයකට එන්න?”
මැදහත් දේශපාලන විචාරකයෝ එහෙම කිවුවෝය. රාජපක්ෂලා මේවා එකින් එක වෙන වෙනම දේශපාලන වේදිකාවල කිවුවෝය.
“එයාලගෙ පක්ෂෙ ඇතුළෙ තියෙන ප්‍රශ්න විසඳගන්න කියන්න”
විපක්ෂය කෙළින්ම කිව්වේය. ගැටුමක් මිස එකමුතුවක් පිටට පෙනුණේ නැත. මේ අතර අම්බලන්ගොඩ රැලිය තිබ්බේය. එදා වෙන කොට බදුල්ලේ තරම්වත් සමගියක් පෙනුණේ නැත. “මණ්ඩලේ කචල්” ගතිය නොපෙන්නා හිටියේය. ෆොන්සේකාගේ කටින් පිටවුණ වචනයක දෙකක පොඩි ඇදයක් පෙනුන මුත් කතාව එළියට ආවේ නැත. නමුත් මේ වන විට රට පුරාම සජිත්ගේ නම සඳහන් පෝස්ටර් ඇලවුණේය. කොළඹ පුරා දැවැන්ත කටවුට්වල සජිත් හිනැහෙන්නට විය. ඒවායේ සමහර තැන්වල කළුතෙල් පැල්ලමක් දෙකක්ද දකින්නට ලැබුණේය.
නමුත් සජිත්ලා ගේම අතෑරියේත් නැත. රනිල්ලා තීන්දු වචනයක් කීවේත් නැත. ඊළඟට කුරුණෑගල රැලිය සූදානම් විය. එය තීරණාත්මක එකකි.
“සජිත් අයින් වෙනවලු”
“මොනවා උනත් සජිත් ඉල්ලනවලු”
“සජිත් පක්ෂෙ කඩාගෙන යනවලු”
මේ “ලු” යනු නිතරම කරළියට ආවේය. ඒ අතර සජිත් එක කතාවක් කීවේය.
“මම පක්ෂෙ කඩාගෙන යන්නෙ නෑ”
සජිත් කෙළින්ම කීවේය. ඒ නිසා සජිත් නොයනා බව පමණක් ඉස්තිර වීම සිදු විය. ඒත් සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිවෙනා බවක් කියවුණේ නැත. පිටින් පෙනුණේ සජිත් අඩියක් පස්සට ගත් බවකි. ඔය අතර කරු ජයසූරිය මහතා ගැන විපක්ෂ වේදිකාවල කතා කෙරුණේය. ඔහු කතානායක ධුරයෙන් ඉක්මනින්ම ඉවත්වෙන බවත් කියවුණේය. කරු ජයසූරිය මහතාද,
“එන්න කිව්වොත් එනවා”
වැනි කතාවක් කීවේය. පිටස්තරව බලා සිටිනා විට අපිට පෙනුණේම,
“සජිත්ගෙ ගමන ඉවරයි”
වගේ එකකි. නමුත් සජිත් ආපහු හැරුණේ නැත. කුරුණෑගල වේදිකාවට නැග්ග ඔහු කෙළින්ම කීවේ
“ඉස්සරහට තිබ්බ කකුල අඟලක්වත් පිටිපස්සට ගන්නෙ නෑ”
වැනි කතාවකි. ඔය අතර පක්ෂය සමග සාකච්ඡා තවත් සරු විය. සජිත්ට කොන්දේසි දැමූ කතාවකුත් කීවේය. නමුත් සජිත්,
“මම කොන්දේසිවලට එකඟ වෙන්නෙ නෑ”

යැයි කෙළින්ම කීවේය. ඒ අතර යූ.ඇන්.පී.ය රැස් විය. කතාබහ තීන්දු වෙනතැනටම ආවේය. නායකකම රනිල්ටම දෙන බවත් සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවත් කියවුණේය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සජිත්ගේ නම යෝජනා යෝජනා කළේ රනිල් වික්‍රමසිංහය. යෝජනාව ස්ථිර කළේ අකිල විරාජ් මහලේකම්ය. වැඬේ තීන්දු වෙන්නේ එහෙමය. රනිල් සජිත්ගේ නම නිල වශයෙන් කියන්නේ හේමා ප්‍රේමදාසගේ අතින් අල්ලා වේදිකාවට කැන්දාගෙන ගොස්ය. එදා හේමා ඇඬුවාය. සජිත් හිනැහුණේය. එජාපය පටි තද කරගත්තේය. සටන ඇරඹුණේය. නමුත් මේ කතන්දරයේ ඊළඟ පරිච්ඡේදය ඇරඹුණේ ප්‍රශ්න පත්තරයක් සමගය.
“ටී.එන්.ඒ. ඇතුළු සුළු ජාතික පක්ෂ මොකක් කියයිද?”
“පාඨලී අමනාපයිලු”
“ෆොන්සේකා ගෝඨට උදව් කරයි වගේ”
“රවී…?”
සජිත් එන කොටම, රාවුෆ් හකීම්ලාත් මනෝ ගනේෂන්ලාත් හිටියේ ඔහු සමගය. නමුත් ඉලංකෙයි තමිල් අරසු කච්චු ඇතුළු දෙමළ පක්ෂ සජිත්ට කැමැත්තදී තිබ්බේ නැත. වරක් රනිල්ද ඔහුම කතාවක් සජීත්ට කී බවට හාවක් හූවක් විය. සජිත් ද්‍රවිඩ නායකයන් සමග සාක්ච්ඡා කළේය. ඒ අතර රවීලාත් පාඨලීලාත් කැමති කර ගත්තේය. පාඨලී සජිත්ගේ වේදිකාවට කලින්ම නැග්ගේය. වෙනමම පාඨලීගේම න්‍යාය පත්‍ර යටතේ වූ වැඩසටහන්වල වේදිකාවටද සජිත් ගොඩවිය. පාඨලීගේ ගැටලුව නිම විය. රවීද සජිත්ට එරෙහිව වචනයක්වත් කීවේ නැත. රවීත් සජිත් ජනාධිපති කරන සටනට ආවේය.
සජිත්ට රවීගේ පක්ෂයෙන් සටනට එන්නට ඉඩ ලැබුණේය. ඔය හංසයාගේ අයිතිකාරයා රවී කරුණානායකය. ෆොන්සේකා සජිත් එක්ක ඒත් එකඟ වුණේ නැත. නමුත් සජිත් තම ආණ්ඩුවක් යටතේ ෆොන්සේකාට රටේ ආරක්ෂාව භාරදෙන බව කෙළින්ම කීවේය. සරත් ෆොන්සේකා මහතා කැමැත්ත පළ කළේය. අන්තිමට ෆොන්සේකාත් සජිත් දිනවන සටනට ආවේය.
සජිත් සටනට ආවේ ගෝල්ෆේස් මහ රැලියෙනි. එජාපයේ සියලුම නායකයෝ සජිත් එක්ක වේදිකාවට නැග්ගෝය. ගෝල්ෆේස් එකත් ඒ අවටත් එක ජන ඟගක් විය. වාද බේද ඉවතලා සියල්ලෝම එකට හිටගත්තෝය. නමුත් රිෂාඞ් සහ ටී.ඒන්.ඒ. හරි කතාවක් කියා තිබුණේ නැත. සජිත්ගේ දිනුම පැරදුම තීන්දු වන්නට නම් අනිවාර්යයෙන් මේ අයගේ වචනය අවශ්‍ය විය. රිෂාඞ් ඉක්මනින්ම සජිත්ට කැමැත්ත දුන්නේය. මන්නාරමේ වැඩි බලය ගැන බලාපොරොත්තු දල්වා ගන්නට සජිත්ට හැකි විය. සජිත්ගේ සහයට ඉල්ංකෙයි තමිල් අරසු කච්චි ආවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුවය. ඔය අතර සජිත් තිස්ස අත්තනායකලා වැනි පක්ෂය හැර ගිය පක්ෂ ජ්‍යෙෂ්ඨ යන්ද තමන් වෙත නතු කරගත්තේය. සජිත් හැමෝ ලවාම මල් වට්ටියට අත ගසා ගත්තේය. ඔහු සිය බලමුලුව සවිමත් කරගත්තේය. සටනට ආවේ එහෙමය.
දැන් සජිත්ට තියෙන්නේ 16 වැනිදා වෙන දෙයක් බලා ඉන්නටය. එක්කෝ ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවනු ඇත.
“නැත්නම්…”
ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නට කළබල විය යුතු නැත.
ජීවන පහන් තිලිණ










