සමහර විට මට සම්මානයක් ලැබෙයි…
‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ ‘සිංගි’ ලෙසට සුවිශේෂී රංගනයක යෙදුණු ඇය මේ දිනවල විකාශය වන ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේද ‘අහිංසා’ ලෙස ඔබට සමීපවන මේ පුංචි නිළි පොඞ්ඩ නෙතුකි නෙතුමිලි ගැන කතා නොකළොත් එය අඩුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම නෙතුකි දුව සමග කතාබහ කිරීමට අපි මූලික වුණේ ඇයගේ ඉදිරිගමනට ශක්තියක් වීම උදෙසායි. ‘සිංගි, අහිංසා ගැන ඇය පැවැසුවේ මේ විදියට…
ඉතින් මේ දවස්වල ‘අහිංසා’ ගැන හැමෝම කතාබහ කරනවා. දුවට දැනුණේ කොහොමද ඒ චරිතය…?
දැන් ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යය ගොඩදෙනෙක් බලනවා. ‘අහිංසා’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ‘අහිංසා’ දුප්පත්, අහිංසක චරිතයක්. මගේ නංගි අන්ධයි. ඇයව බලාගන්නේ මම. ඒ වගේම අම්මාටත් උදවු කරනවා.
ඉතින් නෙතුකිට අන්ධ කෙනෙක්ට මගපෙන්වන්න ලේසි වුණාද?
ඇත්තටම ඒව මට නුහුරු අත්දැකීමක්. ඒ වගේ කෙනෙක්ව මම බලාගෙන නැහැ. අන්ධ කෙනෙක් මොන විදියටද හසුරුවන්නේ කියලා මට එහෙම ලොකු අවබෝධයක් නැහැ. මට ඉතින් ‘ටීචර් අම්මා’ එකේ සුදත්ත තිලකසිරි මාමා ඇතුළු සියලුමදෙනා මගේ චරිතයට උදවු කළා.
ඉතින් මේ දවස්වල දුවගේ රඟපෑම් කටයුතු කොහොමද?
ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයට අමතරව ටීචර් අම්මා, කෝපි කඬේ ටෙලිනාට්‍යවල රූගත කිරීම සඳහා සම්බන්ධ වෙනවා.
නෙතුකි මුලින්ම කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
‘එෆ්.එම්. දෙරණ’ නාලිකාවේ ‘පුංචි තරුත් එක්ක ආයුබෝවන්’ දෙරණ වැඩසටහනේ ළමා නිවේදිකාවක් ලෙසට සම්බන්ධ වුණා. ගයනී නැන්දා හරහා තමයි මට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. පස්සේ මම ගුවන්විදුලියේ නාට්‍ය සඳහා හඬකැවීම් කළා. ශානිකා අක්කා, දිල්රුක්ෂි අක්කා, මධුමාලි අක්කා මගේ දක්‍ෂතාව දැනහඳුනගෙන මට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩාක් උදවු කළා. පස්සේ මම හඬකැවීම් ශිල්පිනියක් ලෙසට නිර්මාණ රැසකට සම්බන්ධ වුණා.
නෙතුකිව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘මහපොළොව’ ටෙලිනාට්‍ය තුළින් නේද?
ඔව්… හැබැයි මම එයට පෙර ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑවා.
‘සිංගි’ චරිතය මගේ ර`ඟපෑම තුළ සුවිශේෂී චරිතයක් වුණා. මම ගොඩාක් ආශාවෙන් තමයි ‘සිංගි’ චරිතය රඟපෑවේ. මට දෙබස් අඩුව තිබුණත් රඟපෑම අතරින් ලොකු දෙයක් මට කරන්න තිබුණා. ඉතින් ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ ‘සිංගි’ චරිතයට මාව තෝරා ගත්තාට සුමිත් රත්නායක මාමාට විශේෂ ස්තුතිය පුද කරනවා.
‘සිංගි’ තුළින් ඔබ නිරූපණය කළ ඒ ආරූඪවීම එතරම් සාර්ථක ලෙසට නිරූපණය කළේ කොහොමද?
‘සිංගි’ගේ නැතිවුණු අම්මා තමයි මට වැහෙන්නේ. ඉතින් මට ඒ අවස්ථාව කවදාවත් අමතක කරන්න බැහැ. එහෙම රඟපෑමක් මම කවදාවත් කරලා නැහැ. සුමිත් මාමාගේ උපදෙස් පරිදි මම එය ඉදිරිපත් කළා.
දුව ඒ නිරූපණය කළ ‘සිංගි’ චරිතයට සම්මානයක් හිමිවෙයි කියලා හිතනවද?
මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා සම්මානයක් ලැබෙයි කියලා. හැබැයි ඉතින් මාව ඉදිරියට ගෙනියන්නේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක පිරිස තමයි. ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදයත් එක්ක සමහරවිට මට සම්මානයක් හිමිවෙයි.
නෙතුකි දුවට මේ ගමනට ශක්තියක් වුණු පිරිසකුත් ඇති නේද?
ගොඩදෙනෙක් ඉන්නවා… සුමිත් රත්නායක, සුදත්ත තිලකසිරි, ප්‍රභාත් දුෂ්මන්ත, ගයාන් මහගලගේ, තිමිර උඩලමත්ත ඒ වගේම මගේ පාසලේ ගුරු මණ්ඩලය ඇතුළු මට උදවු කරපු සියලුම දෙනාට. මම සමග තරහා වෙන්න එපා හැමෝගෙම නම් සඳහන් කරන්න බැරිවුණාට. මොකද පත්තරේ ඉඩමදිවෙයි එතරම් ගොඩදෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න ගියොත්.
-වසන්ත විතාරණගේ











