විශේෂයෙන් පුරාණයේ ඉහළ පිළිගැනීමක් හිමිවූ නිමිති හා පෙරනිමිතිවල බෙදීම් ගණනාවකි. ඒ කෙසේ මුත් ඇතැම් පෙරනිමිතිවල සුවිශේෂත්වය වනුයේ යම් යම් උපක්‍රම භාවිතයෙන් එකී පෙරනිමිති සුබ ලෙස යොදා ගැනීමටත්, එමඟින් අසුබත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකා ගැනීමටත් හැකි වීමයි. එකී තත්ත්වයනට නිදසුන් ලෙස පිරුණු දිය බඳුන් ඉදිරියට ගෙන ඒමට සැලැස්වීම, දර්ශනීය සත්ව රූප හෝ දර්ශන දැකීමට සැලැස්වීම, පිරිත්, ජයමංගල ගාථා, මඟුල් බෙර හඬ, සක් හඬ ඇසීමට සැලැස්වීම ආදිය දැක්විය හැකිය.
නිමිති සම්බන්ධයෙන් බලන කල බුදුන් වහන්සේගේ දේශනාව නිමිතිවලට වහලකු නොවිය යුතු බවත් කර්මයට මුල් තැන දිය යුතු බවත්ය. එනමුත් ජ්‍යොතිෂයත් නිමිතින් කරණ කොට ලැබිය හැකි සුබ – අසුබ විපාක නුවණින් සිතා බලා තේරුම ගෙන යම් දුර්විපාකයක්, අනතුරක් වේ නම් ඉන් නුවණක්කාරීව ආරක්‍ෂා විය යුතුය. මේ බව සවිස්තරව සූත්‍ර පිටකයේ උපාසක චණ්ඩාල සූත්‍රයේත්, මහානාම සූත්‍රයේත් සඳහන් වෙයි. එසේම බුදු දහම දිට්ඨ මංගල, සූත මංගල හා මුත මංගල ලෙස උදෑසන පළමුව දකින, ඇසෙන, දැනෙන, සිතෙන දේ නිමිති කර නොගත යුතු බව පැහැදිලි කරයි. බුදුදහම අනුව සිල්වත් ශ්‍රමණ දර්ශනය ආදී කොට ඇති මංගල කරුණු 38ක් මංගල සූත්‍රයේ සඳහන්ය. මේ සියල්ලට පරිබාහිර බුදුන් වහන්සේ පිළිබඳ වූ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන අවස්ථාවන්හිදී විශේෂයෙන් පහළ වන මහපොළොව කම්පා වීම ආදී කොට ඇති පෙරනිමිති 32කි. එපමණක් නොව භාවනානුයෝගීව සිටින යම් යෝගාවචරයකුට සිත සමාධි වීමට ආසන්නයෙහි ලැබෙන නිමිති තුන් වර්ගයක් සම්බන්ධව බුදු දහමේ සඳහන්ය. ඒ පරිකම්ම, උග්ගහ හා පටිභාන නිමිත්ත යනුවෙනි. එසේම ඉහත සඳහන් වූ පරිදි දිට්ඨි, සුත හා මෘත මංගල යැයි සඳහන් වූයේ සම්මත ක්‍රම තුනකින් ගනු ලැබෙන හිස් කරුණු බව බුද්ධ දේශනාවයි.
නිමිති වර්ගීකරණයේදී සුබ-අසුබ නිමිති සේම පෙරනිමිතිද බොහෝය. ඉහත සඳහන් වූයේ බහුලව අසන්නට, දකින්නට මෙන්ම සිතෙන, දැනෙන දේය. මීට පරිබාහිරව යම් නිමිත්තක් හෝ පෙරනිමිත්තක් වේ නම් එය කවර වර්ගයකට අයත් වේද, එය සුබද-අසුබද යන්න සිතාගත යුතුය. තවද නිමිති සම්බන්ධ විග්‍රහයේදී පින්දහම් සිදුකර කුසල් වඩවා ගැනීමට කරනු ලබන අනුබල දීම වශයෙන් සම්මා සම්බුදුවරයකු ලොව පහළ වීමට අවුරුදු දහසකට පෙර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයකු සිදුකරන බුද්ධ කෝලාහලයත් සක්විති රජකු බිහිවීමට අවුරුදු සියයකට පෙර කාමාවචර දෙවි කෙනකු සිදුකරනු ලබන දේශනාවත්, කල්ප විනාශයට අවුරුදු ලක්‍ෂයක් තිබියදී කාමාවචර දෙවියකු සිදුකරන දේශනාවත් පූර්ව නිමිති ගණයේලා ගැනේ.
පෙරනිමිති තව තවත් ගැඹුරින් විග්‍රහ කරන කල මිනිස් ලොවට පමණක් නොව දෙව්ලොවටත් පෙරනිමිති අදාළය. එනම් දෙව් ලොවින් යම් දෙවියෙක් හෝ දෙවඟනක් චුත වීමට මිනිස් ලොව ආයු කාලයෙන් සතියකට පෙර චුතවීමේ පෙරනිමිති ලෙස දිව්‍යමය සළු කිළිටි වීම, පැලඳි මල්මාලා පරවී යෑම, අතිශයින් ප්‍රභාමත් ශරීර ශෝභාව නැතිවීම, දිව්‍ය මාලිගා, දිව්‍ය සැප රිසි නොවීම, දහදිය වැගිරීමට පටන් ගැනීම, අසුබ රුචි නොවීම ආදිය දැක්විය හැකිය. තවද අතීතයේ කොල්ලා, බල්ලා, බළලා, කුකුළා, ගවයා ආදීන්ගෙන් බහුතරයද සුබ-අසුබ පෙරනිමිති කියා පෑහ. ඒ බොහෝ සතුන් අධි සංවේදී වූ නිසාවෙනි. ඊට හේතු වූයේ ඒ සතුන් සතු වූ ඉව, ශ්‍රවණය හා පෙනීමය. එකල සමාජයේ පැවැත්මට එම පෙරනිමිති බොහෝ සෙයින් උපකාරී විය. කෙසේ නමුත් දුර ඈත අතීතයේ සිට අද දක්වා බහුලව භාවිත වන අත්දුටු සත්‍ය වූ පෙරනිමිති බොහෝය.
කෙසේ නමුත් නිමිතිත්, පෙර නිමිතිත් දේශීය වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන් සර්ප විෂ වෛද්‍ය විද්‍යාවේ දූත ලක්‍ෂණ ලෙස භාවිත වෙයි. එහිදී දෂ්ට කළ සර්පයාත් වැදී ඇති දළ ගණනත් සුවවේද? නොවේද? අසාධ්‍යද? මියයාද? යන්නත් පෙරනිමිති හා දූත ලක්‍ෂණ මත තීරණය කරනු ලබයි. ඔබත් ඔබේ ඉඩමේ, නිවෙසේ හෝ අවට පරිසරයේ සිදුවන වෙනස්වීම්, ලකුණු පෙරනිමිති ලෙස කල්තියා දැක ඒ පිළිබඳ දැනුවත්ව නිවැරැදි අවබෝධයෙන් යුතුව සැලකිලිමත් වීම තුළ සිදුවන විපත් හෝ අවැඩ අවම කර හෝ වළකාගන්න.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











